ශ්‍රී ලංකාව අද දිනන්න ඕනි ද?

0
164

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 26, කොළඹ LNW:

ආසියානු කුසලානයෙන් මේ වන විට ශ්‍රී ලංකාව ඉවත්වී හමාරය.අවසාන තරගයට සංවිධායකයන්ගේ කල්ල මරේ වන කණ්ඩායම් දෙක පිවිස ඇත.පිටිය ඇඟිල්ලක් ගසන්නට නොහැකි තරමට පිරෙන ඉන්දීය පකිස්තාන් තරගයකින් අවසානය ළඟා වීම සංවිධායකයන්ට වැදගත් වන්නේ එවැනි අවස්ථා තුනක් මේ තරගාවලියේදී උදා වන බැවිනි.


අද ශ්‍රී ලංකාව තරග වඳින්නේ ඉන්දියාව සමඟය.ආසියානු කුසලානය දිනා ගැනීමට අද තරගය ජය ගත්ත ද ඉඩක් නැති නිසා ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය නොසළකා හැරිය යුතුද?පරාජය වුව ද අවසාන තරගයේ සූරතාවයට තරග වඳින්නේ තමන් බැවින් මේ තරගය සැහැල්ලුවට ගෙන පරාජය වුව ද කම් නැත කියා ඉන්දියාවද ක්‍රීඩා නොකරනු ඇත.අපරාජිතව අවසාන තරගයට පිවිසීමට ඔවුන් උත්සාහ කරනු ඇත.
ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියේ මුල් වටයේදී අවසාන පූර්ව වටයට පිවිසියේ අපරාජිතවය.එහිදී අවසාන පූර්ව වටයේදී ශ්‍රී ලංකාව පරාජය කළ බංගලාදේශය ද වැඩි අපහසුවකින් තොරව පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකි විය.එහෙත් අවසාන පූර්ව වටයේදී තරගවලදී ගත් ඇතැම් තීරණ නිසා ශ්‍රී ලංකාවට පරාජය වන්නට සිඳු වූ බව බොහෝ දෙනා කියති.විවේචනය කරති.ඇත්තටම පෙනෙන්නට තිබෙන කාරණය ද එබඳුය.එහෙත් අදහස් දක්වන අය කියන තීරණයට අනුව කටයුතු කර අසාර්ථක වුව ද,ලියන කියන අය නොව බිල්ල බවට පත්වන්නේ නායක චරිත් සහ කණ්ඩායම් කළමණාකාරීත්වය ය.ඇත්තම ඇත්ත එබඳුය.


දැන් ඇත්තේ අද තරගය ඉන්දියාවට එරෙහිව ජය ගැනීමය.එයින් කුසලානය හිමි නොවුණ ද යළි කණ්ඩායම තුළ ජයග්‍රහණය පිළිබද විශ්වාසය තහවුරු වනු ඇත.ඒ සඳහා චරිත් කළ යුතුව ඇත්තේ තරගය ගලා යන ස්වරූපය අනුව තීරණ ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමය.තමන් හිතන හැටියට හොඳම දේ මෙය යැයි තීරණය කිරීමට යාමට වඩා සිඳුවෙමින් පවතින දෙයට අනුව හොඳම විය හැක්කේ කුමක්දැයි තීරණය කිරී වැදගත් වනු ඇත.


දුනිත් වෙල්ලාලගේ සිඳුවිම මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තදින් බලපෑවේය.එය දුනිත්ට පමණක් නොව සහෘද ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට ද බල පෑ බව නොසළකා හැරිය නොහැකිය.ඒ සියල්ලන්ම මනුෂ්‍යයන් බැවිනි.ඒ නිසාම දකුණු ආසියාතික සහ විශේෂයෙන් ලාංකේය කම්පනය දුක්ඛදායක හැඟිම දිය කර හැරීමේ ක්‍රයාවලිය ජාත්‍යන්තර පිටියක නොවිය යුතු ආකාරයට ක්‍රියාත්මක වූවා ද යන්න පසුවිපරමක් ලෙස සිහියට ගත යුතුව ඇත.


ළඟ ළඟ ගුවන් ගමන් සමඟ වන ශරිර අවිවේකීත්වයද,චිත්ත පීඩාවද සමඟ එකතු වී ගතින් ද මනසින් ද වෙහෙසකර පීඩාවක වේදනාවක ගිලි සිටි දුනිත් දෙවන තරගයට ඇතුළත් නොකළ යුතුව තිබිණ.එයින් අදහස් වන්නේ දුනිත් ඇතුළත් කළ නිසා ඔහුගේ වරදකින් තරගය පරාජය වූ බවක් නොවේය.එවැනි සානුකම්පිත නොවන උවමනාවන්වලට ජාතික කණ්ඩායමක් තේරීමේදී මුල් තැන නොදිය යුතු යැයි සිතෙන බැවිනි.තරගයට ඊට වඩා ඔහු අවශ්‍යයව තිබුණ බවක් ඔහුගේ ක්‍රීඩාව තුළින් ද මතු නොවුණ නිසා මේ තත්ත්වය මතු විය.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම,ක්‍රිකට් කළමණාකරණය දුනිත් වෙනුවෙන් මැදිහත් වූ ආකාරය වැදගත්ය.ඇගයිය යුතුය.ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයා වූ පියාගේ වියෝව සිඳු වූ සැනින් ඒ අවමංගල්ලයට සහභාගි වීමට හැකි ඉක්මන්ම මොහොත ඔහු වෙනුවෙන් සූදානම් කිරීම ප්‍රශස්ත මැදිහත්වීමක්ය.එතනින් මෙපිට කණ්ඩායම් කළමණාකාරීත්වය ඔහු කෙරෙහි හෝ එම සිඳුවීම කෙරෙහි සීමා ඉක්මවා කම්පා විණි ද කියන කාරණය අවසාන ප්‍රතිපලය හැටියට ඉතුරු වීම කණගාටුදායකය.


කෙසේ වුවත් තරගාවලියේ ජය සහ පරාජයන් ලැබූ ආකාරය බලන විට ශ්‍රී ලංකාව ඒ මොහොතට සාපේක්ෂව හොඳින් වැඩ කර තිබෙන බව පිළිගත යුතුය.තව දුරටත් කණ්ඩායමක් විදිහට කඩුලු අතර දිවීම මෙන්ම ප්‍රතිවාදීන්ට එරෙහි පන්දු රැකිමෙන් පිඩනය ඇති කිරිම වැනි කාරණාවලදී කල්පනාකාරී වන්නේනම් වැදගත්ය.
ජයග්‍රහණය නොවුණත් කන්ඩායමක් හැටියට ගෙවුණු විවේකී දින කිහිපය තුළ මේ සුළු අතපසු කළ කාරණා නිරාකරණය කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වී ඇත්නම් අද ඉන්දිය තරගය ජය ගන්නට හැකියාව ඇත.ඔවුන් හොඳම වූ මොහොතක ප්‍රතිවාදියා කෙතරම් හොඳද යන්න ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වළක්වන්නට හේතුවක් නොවන බව අපි ඉතිහාසයෙන් ඉගෙනගෙන ඇත්තෙමු.
ඒ නිසා අද හොඳම දේ කර ඉදිරියට හොඳම පාර සොයා ගන්නට අඩිතාලම දමන දිනයක් කර ගැනීම වැදගත්ය.දිනන කුසලානවලට වඩා කණ්ඩායමකට ලෝකයේ අවධානය දිනා ගැනිමට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යන්නට දිනන තරග ගණන වැදගත්ය.ඒ අතින් බැලුවොත් ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දැනට සිටින්නේ තරග තුනක් ජය ගෙන තරග දෙකක් පරාජයට පත් වූ කණ්ඩායමක් හැටියටය.අද ඉන්දීය තරගය පරාජය නොවි ජයගතහොත් මේ තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ ගණන හතරක් වනු ඇත.