නන්දනගේ කතාව පට්ටපල් බොරුවක්. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් JVP කමිටුවක කවදාවත් හිටියේ නෑ – ඇමති වටගල

0
320

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කලකට ඉහත ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවට ජවිපෙ හිටපු දේශපාලන බලමණ්ඩල සාමාජිකයකු වන නන්දන ගුණතිලක මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්යයක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ හිටපු මහජන නියෝජිතයෙක් වෙන නන්දන ගුණතිලක දිගින් දිගටම චෝදනා කරනවා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔබතුමන්ලාගේ පක්ෂයේ කමිටුවක හිටපු කෙනෙක් කියලා. මොකක්ද මේ ගැන කියන්නෙ ?

“මටත් ඇහුණා වොයිස් කට් එකක ඒක කියනවා. මම දන්නෑ නන්දන ගුණතිලක මහත්තයා එවැනි ප්‍රකාශයක් ඇයි එහෙම කියන්නෙ කියලා. මට හිතෙන්නෙ යම්කිසි සිත් කඩාවැටීමක් එක්ක වෙන්න ඕනෙ මෙතරම් අසත්‍යයක් කියන්නෙ. මොකද ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුව කියන එක එයා විතරක් නෙවෙයි විවිධ අවස්ථාවල දේශපාලන බලමණ්ඩල සභිකයෝ ඒ ඒ කාලසීමාවන්වල ඒ ඒ නායකත්වයන් යටතේ කැඳවලා තියෙනවා. මුල සිටම නීති කමිටුවේ මම දිගටම හිටියා. හැබැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු දවසක අපේ නීතීඥ කමිටුවකට ඇවිල්ලාත් නෑ, සහභාගී වෙලාත් නෑ, ඉඳලාත් නෑ. ඒ වගේ අසත්‍යයක් නන්දන ගුණතිලක මහත්තයාට කියන්න තරම් හේතුවෙච්ච කාරණාව, වටපිටාව අපට තේරුම් ගන්න පුළුවන්. එතුමා කේන්තියෙන් ඉන්නෙ. එතුමා හිටපු දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරලා තියෙන වෙලාවක අද එතුමා කේන්තියෙන් පසුවෙනවා ඔහු නැතිව මේ ජනතා ව්‍යාපාරය ඉස්සරහට යන එක සම්බන්ධයෙන්. ඒක නිසා අපි අනුකම්පා කරන්න ඕනෙ එතුමාට. එතුමාට හැබැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගනීවිද දන්නෙ නෑ. ඇත්ත වශයෙන්ම සක්සුදක් සේ පැහැදිලියි, ඔහු අපේ කිසිදු නීති කමිටුවක හිටපු කෙනෙක් නෙවෙයි. කවදාවත් එහෙම සහභාගී වෙලාත් නෑ. නන්දන කියනවා නම් එයාගෙ අත්සන සහිත ලේඛනයක් තියෙනවායි කියලා, අපි කවදාවත් නීති කමිටුවක් ඇතුළෙ අත්සන් ගහන සිරිතක් තිබුණෙත් නෑ. මොකටද අපි නීති කමිටුවකට ගිහිල්ලා අත්සනක් ගහන්නෙ ? ඒකෙන්ම පේනවා මේක අමූලික බොරුවක් කියලා. පටු පෞද්ගලික වාසිවලට කියන දේශපාලන බොරු තමයි ඕවා”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.