BYD බදු වංචාව : ජෝන් කීල්ස්ලා ගිල්ලෙත් චෞද්‍රිලාගේ ලණුවක්ද ?

0
806

චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා එම වාහන නිදහස් කරගෙන ඇති බවට චෝදනාවක් එල්ල වූ අතර ඒ සිද්ධිය තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබේ.

මේ ප්‍රශ්නගත විදුලි වාහන මෙරටට ගෙන්වීමේදී දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ජෝන් කීල්ස් CG ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි. මේ සමාගම ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමාගම සහ නේපාලයේ CG මෝටර්ස් සමාගම එක්ව පිහිටවූ සමාගමකි.

CG මෝටර්ස් සමාගම යනු නේපාලයේ ධනවත්ම පුද්ගලයා මෙන්ම එකම ඩොලර් බිලියනපතියා ද වන බිනෝද් චෞද්‍රිට අයත් චෞද්‍රි ගෲප් යටතේ පවතින සමාගමකි. මෙම සමාගමට වාහන ආනයනයේදී මීට පෙරත් බදු වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

බදු අඩුවෙන් ගෙවීම සඳහා ආසන ගණන වැඩියෙන් පෙන්නලා !

නේපාලයේ නීතියට අනුව ආසන 14 මයික්‍රෝ බස් රථ සඳහා 10%ක තීරුබද්දක් අයකෙරෙන අතර ආසන 15 හෝ ඊට වැඩි මිනි බස් රථ සඳහා අය කෙරෙන්නේ 01%ක තීරු බද්දකි. 2023 සැප්තැම්බර් 15 වනදා CG මෝටර්ස් සමාගම චීනයේ Xiamen King Long United Automotive Industry Co. Ltd. සමාගමෙන් King Long XMQ 6520 (ආසන 14) මයික්‍රෝ බස් රථ 30ක් 8702.40.30 HS කේතය යටතේ නේපාලයට ගෙන්වා 10%ක තීරු බද්ද ගෙවා නිදහස් කරගෙන ඇත. 2024 අප්‍රේල් 04 වනදා ඔවුන් එම මාදිලියේම තවත් මයික්‍රෝ බස් රථ 50ක් එරටට ගෙන්වා ඇති අතර එහිදී ඔවුන් ඒවාට අමතර ආසනයක් එකතු කර ආසන 15 මිනි බස් රථ කාණ්ඩයෙන් 8702.40.20 යන HS කේතය යටතේ 01%ක තීරුබද්දක් පමණක් ගෙවා නිදහස් කරගෙන ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කර තිබේ.

නේපාලයේ 1993 මෝටර් රථ සහ ප්‍රවාහන කළමනාකරණ පනත අනුව මිනි බස් රථයක් ආසනවල දිග පළල, ඉඩ පහසුකම්, ඇතුළත උස, වාහනයේ බර ඇතුළු තාක්ෂණික පිරිවිතරයන් රැසක් සම්පූර්ණ කළ යුතුය. නමුත් ඉහත කී King Long XMQ 6520 මාදිලියේ බර අඩුවෙන් පැවතීම නිසාත් නේපාලයේ නීතියට අනුව ආසන 14 වාහනයකට අමතර ආසනයක් හෝ හකුළන ආසනයක් එකතු කිරීමෙන් එය මිනි බස් රථයක් වශයෙන් පිළිගැනීමට ලක්නොවන නිසාත් ඉහත කී පිරිවිතරයන් සම්පූර්ණ කිරීමට එම වාහනයට නොහැකි වී ඇත.

ඒ අනුව, වංචනික ලෙස මයික්‍රෝ බස් රථ 50ක් මිනි බස් රථ ලෙස පෙන්වා ආනයනය කිරීම තුළින් CG මෝටර්ස් සමාගම තීරුබදු, සුරාබදු, VAT බදු සහ මාර්ග නඩත්තු ගාස්තු ඇතුළුව සම්පූර්ණයෙන් නේපාල රුපියල් ලක්ෂ 145කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙය CG මෝටර්ස් සමාගම සිදුකළ පළමු වාහන බදු වංචාව නොවේ. මීට පෙරත් KYC විදුලි වෑන් රථ ආනයනයේදී ඔවුන් ඉහත කී වංචාවම සිදුකර ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර අධිකරණය හමුවේ ඔවුන් වැරදිකරු බවට තීරණය වී වංචා කළ බදු මුදල් රජයට ගෙවීමටත් නියම වී ඇති බවත් නේපාල මාධ්‍ය වාර්තා කර ඇත.

ජෝන් කීල්ස්ලා ගිල්ලේ චෞද්‍රිලාගේ ලණුවක්ද ?

ඉහත කී CG මෝටර්ස් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම එක්ව ශ්‍රී ලංකාවට BYD විදුලි වාහන ආනයනය කිරීමේදී මුලින්ම චෝදනාව එල්ල වූයේ මෝටර් ධාරිතාවය 150 kW වන BYD ATTO 3 මෝටර් රථ 100 kW වශයෙන් අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදු ගෙවා නිදහස් කරගෙන ඇති බවට ය. එහිදී ශ්‍රී ලංකා රේගුව ස්ථිරවම සඳහන් කළේ තමන් සලකා බලන්නේ වාහනයට සවිකර ඇති මෝටරයේ ප්‍රකෘති ධාරිතාවය බවයි. එහෙත් ජෝන් කීල්ස් CG ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සඳහන් කළේ මෙම වාහනවල මෝටර් ධාරිතාවය නිෂ්පාදකයා විසින්ම මෘදුකාංගයක් භාවිතයෙන් 100 kW දක්වා අඩුකර ඇති නිසා මේවාට බදු අයවිය යුත්තේ එම කාණ්ඩයෙන් බවට ය. ඒ අනුව මෙම වාහනවල මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත්කළ අතර තවමත් එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් වී නොමැත. ප්‍රශ්නගත වාහන 1500කට ආසන්න ප්‍රමාණයක් රුබියල් බිලියන 4.5ක පමණ බැංකු ඇපකර මත ආනයනකරුට මුදාහැරීමට අධිකරණය නියම කර තිබිණි.

150 kW වාහනයක් සහ 100 kW වාහනයක් අතර බදු පරතරය රුපියල් ලක්ෂ 30ක් පමණ වේ. ඒ අනුව වාහන 1000ක් ඉහත කී ආකාරයට නිදහස් කරගැනීමේදී රජයට අහිමි වන බදු ප්‍රමාණය රුපියල් බිලියන 3කට අධිකය. ඉහත කී BYD ATTO 3 මාදිලියේ මෝටර් රථ පමණක් 2500කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා පාරිභෝගිකයකින්ට විකුණා ඇතැයි ආරංචිමාර්ග පවසන අතර එය සත්‍යය නම් ඒ මාදිලියේ වාහනවලින් පමණක් රටට අහිමි වී ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.5කට අධික විය යුතුය. එමෙන්ම ATTO 3 මාදිලිය පමණක් නොව තවත් BYD මාදිලි කිහිපයකම මේ ආකාරයෙන් මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා නිදහස් කරගෙන ඇතැයි කරුණු වාර්තා වී ඇති අතර ඒ අනුව බදු වංචාවේ අගය තවත් ඉහළ යනු ඇත.

ජෝන් කීල්ස්ලාගේ හවුල්කාර CG මෝටර්ස් සමාගම චීනයෙන් විදුලි වාහන ආනයනය කිරීමේදී මීට පෙරත් බදු වංචා කරමින් අයුතු ලාභයක් සහ අයුතු වෙළඳපොල ඒකාධිකාරයක් අත්පත් කරගැනීමට කටයුතු කර අත්දැකීම් ඇති සමාගමක් බව ඉහත තොරතුරු අනුව පැහැදිලි ය. ඔවුන් නේපාලය තුළ දේශීය මට්ටමින් කරගෙන ගිය බදු වංචාව ශ්‍රී ලංකාව ඔස්සේ දකුණු ආසියානු මට්ටමටම ගෙන ඒමට කටයුතු කර ඇති බවක් පෙනේ.

ඒ අනුව ශ්‍රී ලාංකික ජෝන් කීල්ස් සමාගමට නේපාලයේ CG මෝටර්ස් සමාගම තමන්ට හුරු පුරුදු ලණුවක් ගිල්ලෙව්වාද යන ප්‍රශ්නය මතුවේ. එසේ නොමැති නම් ජෝන් කීල්ස්ලා චෞද්‍රිලා සමග එකතු වී ලංකාවේ ලණුව ඇඹරුවාදැයි කියන්නටත් අප දන්නේ නැත. කෙසේවෙතත් ජනගහණයෙන් සැලකියයුතු ප්‍රතිශතයක් දුප්පත්කමෙන් පෙළෙමින් සිටියදී, දේශීය – විදේශීය ඩොලර් බිලියනපතියන්ට තම ව්‍යාපාරික ඒකාධිකාරයන් ගොඩනඟා ගැනීම සඳහා බදු දැලෙන් රිංගා යමින් රටට රුපියල් කෝටි සිය ගණනක බදු ආදායමක් අහිමි කිරීමට ඉඩහැරීම නම් කිසිසේත්ම සිදු නොවිය යුතු බව අපේ හැඟීමයි.

~ විශේෂ ලියුම්කරුවකු විසිනි

සබැඳි පුවත් –