කර්මාන්ත අමාත්‍යාංශයෙන් භාණ්ඩාගාරයට මිලියන 757 ක ලාභාංශයක්!

0
290

කොළඹ LNW: කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දී තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් අද දින (07) දින පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් භාර දෙන ලදී.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500ක මුදලක් පසුගිය මාස 9 කාලයේදී ලැබූ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්ක වලට යාමට උත්සාහ කරන බවට ප්‍රකාශ කළේය.

BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති H.A. ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය. එලෙසින් ම මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ මහතා රුපියල් මිලියන 100ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදුන් අතර වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්ත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන ඒමට සමත් වී ඇත. මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කලේ ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවයි.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා සහභාගි වූ අතර ඔහු ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළේය.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල් මහතා මෙම අවස්ථාවට සහභාගි වූ අතර ඔහු රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14 කට පසු වීමයි. මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4 කි. මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ඉදිරිපත් කල මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතී.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ නිලධාරීන් එක්ව සිටියහ.