රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08 කොළඹ LNW :
මෑත කාලීනව මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින නමුත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බව ලෝක බැංකුව පවසයි. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික වර්ධනය තවමත් ආර්ථික අර්බුදයට පෙර මට්ටම්වලට වඩා පහළින් පවතින බවයි. එමෙන්ම දරිද්‍රතාවය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම් සම්බන්ධව , ඔවුන් මෙම වාර්තාව නිකුත් කර ඇත.
ලෝක බැංකුව එමගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳ ඉලක්කගත රාජ්‍ය වියදම් කිරීම් අවශ්‍ය වනු ඇති බවයි. 2025 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.6කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු ප්‍රගතියක් සහ සේවාවල ස්ථාවර වර්ධනයක් ඇති බවද එහි සඳහන් වේ.
ලෝක බැංකුව නවතම වාර්තාවෙන් පුරෝකතනය කර ඇත්තේ, 2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.5ක් දක්වා මන්දගාමී වනු ඇති බවටයි. මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය දිරිගන්වන සුළු වුවද, ආර්ථික ප්‍රකෘතිය අසම්පූර්ණ බවයි. මූල්‍යමය වශයෙන් සීමා සහිත පරිසරයක, සියලු නිවාසවලට ප්‍රතිලාභ ලබා දෙන ශක්තිමත්, සාධාරණ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලංකාවට පෞද්ගලික අංශය ආයෝජනය කර රැකියා නිර්මාණය කිරීම සහ රාජ්‍ය මුදල්වල සෑම රුපියලක්ම හොඳින් වියදම් කිරීම සහතික කිරීම අවශ්‍ය වන බව ඔහු අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනය ශක්තිමත් වුවද, උද්ධමනය අඩු වුවද, බාහිර ගලා ඒම් ශක්තිමත් වුවද, ආහාර මිල ඉහළ මට්ටමක පැවතුන බවත් සංචිත සමුච්චය වීම මන්දගාමී වී ඇති බවත් ලෝක බැංකුවේ නිරීක්ෂණයයි. ශ්‍රී ලංකාවේ ආර්ථික නිෂ්පාදනය තවමත් 2018 මට්ටමට වඩා අඩුයි. දරිද්‍රතාවය පහත වැටෙමින් පැවතුන ද, 2019ට වඩා දෙගුණයක මට්ටමක පවතී.
ලෝක බැංකුව පවසන්නේ, ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වී තිබෙන අතර, බොහෝ නිවාස තවමත් අර්බුදය අතරතුර අහිමි වූ ජීවනෝපායන් නැවත ලබාගෙන නොමැති බවයි. ලෝක බැංකුව සිය වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා ජනගහනයෙන් තවත් සියයට 10ක් දරිද්‍රතා රේඛාවට මදක් ඉහළින් ජීවත් වන නමුත් මන්දපෝෂණය බරපතල ගැටලුවක් ලෙස පවතින බවයි. .
