BYD නාටකය: රජයට වංචා කළේ නම් ජෝන් කීල්ස් සමාගම දැඩි දඬුවම් විඳිය යුතුයි

0
496

ඇඩොල්ෆ්

BYD විද්‍යුත් මෝටර් රථ 1,000ක් ආනයනය කිරීම හා සම්බන්ධ මහා පරිමාණ බදු පැහැර හැරීම් පිළිබඳ චෝදනා ශ්‍රී ලංකාවේ සමාගම් අතර දැවැන්ත කම්පනයක් ඇතිකර තිබේ. කෙසේවෙතත්, මෙම බරපතල චෝදනාවලට අදාළව සම්පූර්ණ විමර්ශනයක් අවශ්‍ය වූව ද, ඒ පිළිබඳ විනිශ්චයක් ලබා දීමට පෙර ඉදිරිදර්ශනය පවත්වා ගැනීම වැදගත් ය. 

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම දිගු කලක් මුළුල්ලේ වගකිවයුතු ආයතනික පුරවැසිභාවයේ සංකේතයක් ලෙස පෙනී සිට ඇත. එබැවින් ජනතා අධිකරණයේ විභාගයට ලක්වීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු ය. වාර්තාවලට අනුව, ශ්‍රී ලංකා රේගුව මෙම වාහන තොගය රඳවාගෙන ඇති අතර, එකී මෝටර්රථවල 150 kW වෙනුවට 100 kW මෝටර ඇති බවට සඳහන්කොට ධාරිතාව අඩුකර ඇති බවට චෝදනා ගොනු වී ඇත. මෙමඟින් රජයට රුපියල් බිලියන 3 ක බදු ආදායමක් අහිමි කළ හැකිය.

මෙම චෝදනා ඔප්පු වූවහොත්, ප්‍රශ්නගත සමාගමේ විශ්වාසය හා පරිපාලනය සැලකිය යුතු අන්දමින් පළුදු කිරීමට මෙම නඩුව සමත්වනු ඇත. කෙසේවෙතත්, මෙම අදියරේ දී එය හුදෙක් චෝදනාවක් ලෙස පවතී. එබැවින් මහජනතාව, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් හුදෙක් හිතළුවලට වඩා කරුණු මඟින් මෙහෙයවනු ලබන ක්‍රියාවලියක් කෙරේ ඉඩකඩ සපුරාදිය යුතු ය. 

කීර්ති නාමය

ජෝන් කීල්ස් සමාගමේ කීර්ති නාමය දශක ගණනාවක් පුරා පවත්වාගෙන එනු ලබන විනිවිදභාවය, අනුකූලතාවය සහ සදාචාරාත්මක හැසිරීම තුළින් ගොඩනැඟී ඇත. මෙම සමාගම දැඩි නියාමන සහ වෙළඳපල පරීක්ෂාව යටතේ ක්‍රියාත්මක වී ඇති අතර, එහි පරිපාලන පිළිවෙත් සඳහා නිරන්තරයෙන් පිළිගැනීමක් ලබා ඇත. මෙම සමාගම, ජාත්‍යන්තර වාර්තාකරණ ප්‍රමිතීන් ස්වේච්ඡාවෙන් අනුගමනය කරන සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගේ ශක්තිමත් පැවැත්මක් පවත්වා ගෙන යන ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාර අතලොස්සෙන් එකකි.

මෙම සාධකවලින් පෙනී යන්නේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ඕනෑම ගැටළුවක් විවෘතව සහ තීරණාත්මකව විසඳීමට එම සමාගම කටයුතු කරනු ඇති බවයි.

කෙසේවෙතත්, පැහැදිලි පිළිතුරු ලැබිය යුතු ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ. වාහන ආනයනය කිරීමට පෙර ජෝන් කීල්ස් වාහනවල සම්පූර්ණ තාක්ෂණික තොරතුරු ශ්‍රී ලංකා රේගුවට හෙළි කළා ද? නැව්ගත කිරීමට පෙර නිසි නිෂ්කාශන සහ වර්ගීකරණයන් ලබාගැනීමට කටයුතු කළා ද? මෙකී පැණයන් අනුකූලතාවය පිළිබඳ තීරණාත්මක සාධක වේ. බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සමාගම කටයුතු කළේ නම්, මෙම ගැටළුව රැවටීමක් නොව අර්තකථනයයක් විය හැකි ය. අනෙක් අතට, ද්‍රව්‍යමය පිරිවිතරයන් හෙළි කිරීමට අපොහොසත් වීම වගවීම සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුකරනු ලබයි. මෙම කරුණු පිළිබඳ විනිවිදභාවය සහතික කිරීම, ප්‍රශ්නගත සමාගම සහ පද්ධතිය යන දෙකම කෙරෙහි පවතින විශ්වාසය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා අත්‍යාවශ්‍ය ය.

ශ්‍රී ලංකාවේ ආනයන හා බදුකරණ රාමු (විශේෂයෙන් විද්‍යුත් වාහන සඳහා), සංකීර්ණ හා නිතර සංශෝධනයට ලක්වන බව පිළිගැනීම ද වැදගත් ය. එවැනි අවිනිශ්චිතතාවයන්, වර්ගීකරණයේ නොගැළපීම්ල හෝ සැබෑ දෝෂ වලට හේතු විය හැකි ය. මින් පෙනී යන්නේ, හරිත සංචලතා අංශයේ (green mobility sector) තිරසාර ආයෝජන සහ නවෝත්පාදනයන්ට සහාය වීම සඳහා පුරෝකථනයකළ හැකි සහ විනිවිදභාවයකින් යුතු නියාමන රාමු සම්පාදනය කිරීම සඳහා පවතින පුළුල් අවශ්‍යතාවයයි.

මීට අදාළ විමර්ශනය ඉදිරියට යන අතරවාරයේ, මෙම ගැටළුව සාධාරණව හා වෘත්තීයභාවයෙන් යුතුව හසුරුවා ගැනීම අත්‍යාවශ්‍ය ය. රටේ ප්‍රමුඛතම සංස්ථාවක් මෙසේ හෙළා දැකීමට අප ඉක්මන් වූවහොත් ආයෝජකයන්ගේ හැඟීම්වලට පමණක් නොව ශ්‍රී ලංකාව ස්ථාවර, නීති මත පදනම් වූ ආර්ථිකයක් ලෙස පුළුල් ලෙස වටහා ගැනීම කෙරේ අනපේක්ෂිත බලපෑම් එල්ලකළ හැකි ය.

නිගමනය

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පරම්පරා ගණනාවක් තිස්සේ වර්ධනය, රැකියා සහ යහපත් පරිපාලනය අතින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකර ඇත. අඛණ්ඩතාව සහ අනුකූලතාව අතින් එම සමාගම සතු දිගු වාර්තාව එක රැයකින් බැහැර කළ නොහැකි ය. කරුණු සම්පූර්ණයෙන්ම තහවුරු වන තුරු, ජෝන් කීල්ස් සමාගම ජනතා විශ්වාසය නැතිකර නොගත යුතු ය.

මෙම නඩුවේ තීන්දුව මඟින් ශක්තිමත් ආයතනික පරිසරයක් සඳහා දායකවන විනිවිදභාවය, වගවීම සහ නිසි ක්‍රියාවලීන්වල මූලධර්ම තවදුරටත් ශක්තිමත් කරනු මිස දුර්වල නොකළ යුතු ය. මෙම චෝදනාවලට අදාළව ජෝන් කීල්ස් සමාගම සහ CG Auto වරදකරුවන් වූවහොත්, අනෙකුත් සමාගම්වලට ලබාදෙන පාඩමක් ලෙස අපරාධ චෝදනා ද ඇතුළුව ඉහළම දඬුවමක් එහි අධ්‍යක්ෂක මණ්ඩලවලට ලබාදිය යුතු ය.

සිරගතකළ යුත්තේ දේශපාලඥයන් පමණක් නොවේ; සුදු කරපටි අපරාධකරුවන් ද මීට අදාළ ය!