සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පොදු වැඩපිළිවෙලකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබිණි.
ඊයේ රාත්‍රියේ පැවති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව සජබ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ ද නිකුත් කර තිබෙනු දැකගත හැකිවිය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයෙන් යම්කිසි ගැටලුවක් උද්ගත වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.
එජාපය සමග මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා සජබ පාර්ශ්වයෙන් පත්කර ඇත්තේ කබීර් හෂීම්, මුජිබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් බව සඳහන්. එහෙත් මීට පෙර මෙම සාකච්ඡා පැවතියේ එජාප මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය සහ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙනි.
ඒ අනුව මෙම කටයුතු ඉදිරියටත් පක්ෂ දෙකේ මහලේකම්වරුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්ම සිදුවිය යුතු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම තමන්ට හිතවත් පුද්ගලයකු සමග අවධාරණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.
