මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

0
755

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :

මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වාර්ෂික රැස්වීම් මාලාවට සමගාමීව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අමෙරිකාවට ගොස් සිටී. එහිදී මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ සමාලෝචන සියල්ල 2027 වසරේ මැදභාගය වනවිට අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මාධ්‍යවේදිනිය –ඔබ මොනවද මෙහි කරන්නේ? ඇයි මේ හමුව අපිට මේ තරම් වැදගත්?” 

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ – “වොෂින්ටන් නුවර පැවැත්වෙන මේ හමුවීම් ඉතා වැදගත් වෙන්නේ අපිට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් හමුවීමට ලැබෙන නිසා. ඒ වගේම ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ලෙස අනෙක් නියෝජිතයින් සහ ආයෝජකයින් හමුවීමට ලැබෙන නිසා.” 

මාධ්‍යවේදිනිය –– “ශ්‍රී ලංකාව පසුගියදා 5 වැනි සමාලෝචනය සම්පූර්ණ කළා. එහි යම් නිර්දේශ කිහිපයක් සඳහන්ව තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව අත්පත් කරගත් දේවල් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඇගයීමට ලක්කරන අතරම, අපි දූෂණය කළමනාකරණය කරන ආකාරය, රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ, සහ දිගුකාලීන ආදායම් ඉපදවීම සම්බන්ධව කනස්සල්ල පළකර තිබුණා. ඔබේ අවධානය කුමක්ද?” 

මහබැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ – “පසුගිය සතියේ ශ්‍රී ලංකාව පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කළා. එම සමාලෝචනය ලබන දෙසැම්බර් මාසයේදී අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත්කරනවා. එහිදී වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. වැදගත්ම දේ 2026 වසර සඳහා වන අයවැය පනත සම්මත කරගැනීම. ඊට අමතරව තවත් වැදගත් ප්‍රතිසංස්කරණ තිබෙනවා. රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ වගේ දේවල්. පිරිවැය ආවරණය කරන මිලකරණය, පිරියැව ආවරණය කිරීම අවබෝධ කරගතහැකි ආකාරයේ සරල මිලකරණයක්. ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථායීකරණය, තවත් කරුණු දෙකක් තිබෙනවා. ආර්ථික අවපාතයෙන් වැඩිම බලපෑමට ලක්වූ දිළිඳු ජනතාවට මෙම වැඩසටහන යටතේ සහාය සැපයීම ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතාමත්ම වැදගත්. අනෙක තමා දූෂණය සහ රාජ්‍ය ගැටලුවලට පිළියම් සෙවීම. පස්වැනි සමාලෝචනය කියන්නේ මේ ගමනේ අඩක්. අපි සමාලෝචන 8ක් සැපිරිය යුතුයි.  අපි 2027 වසර මැදදී එය අවසන්කිරීමට අපේක්ෂාවෙන් ඉන්නවා.”

මාධ්‍යවේදිනිය –– “මම ඉන්දීවරි, ශ්‍රී ලංකාවේ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවෙන්. මට ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකාව වැනි ඉදිරිපෙළ වෙළෙඳපොළ පිළිබඳ ආයෝජක විශ්වාසය ඇගයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන්නේ කෙසේද කියන එක. ඉහළ ණය පිරිවැය හා සීමිත වෙළෙඳපොළ ප්‍රවේශය හමුවේ මූල්‍ය ස්ථාවරත්වය සඳහා වැදගත්වන කරුණු ලෙස ඔබ සලකන දෑ වගේම ප්‍රකෘතිමත්වීමේදී පවතින අවදානම් සහ මේ රටවල් විසින් ව්‍යුහාත්කම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ස්ථාවරත්වයට ඇතිවෙන අවදානම් විදියට ඔබ දකින්නේ මොනවාද?”

IMF මූල්‍ය උපදේශක සහ අධ්‍යක්ෂ ටොබායිස් ඒඩ්‍රියන් – “ඔබ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ප්‍රකෘතිමත් වෙමින් වර්ධනයේ මාවතට අවතීර්ණ වී සිටින්නේ විශ්වාසයක් ගොඩනගා ගනිමින්. වෙළෙඳපොළ ප්‍රවේශය සහිත අඩු ආදායම්ලාභී රටවලට අදාළව ගෝලීය වෙළෙඳපොළ දෙස බැලූවිට මූල්‍ය තත්ත්වයන් සාපේක්ෂව පහසු ආකාරයෙන් පවතින බවක් පෙනී යනවා.  ද්‍රවශීලතාව සහ වෙළෙඳපොළට ප්‍රවේශවීමේ හැකියාව මේ වසරේදී ඉහළ මට්ටමක පැවති බවත් කිව හැකියි.” 

IMF මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජේසන් වූ –  “ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය වැඩිදියුණු වී ඇති බව මටත් කිව හැකියි. ඔබ ඇසූ ආකාරයට ඉදිරිපෙළ වෙළෙඳපොළ පිළිබඳ පොදුවේ අදහස් දක්වනවා නම් ඩොලරය සාපේක්ෂව දුර්වලවීම බාහිර පීඩනය අඩුකර ඇති බව පෙනී යනවා. එමඟින් ඵල ලැබීමේ අවස්ථාවක් පවතින අතර, ඉදිරිපෙළ වෙළෙඳපොළ රටවල් මූලික ආර්ථික රීතින් අඛණ්ඩව වැඩිදියුණු කළ යුතුයි. ජංගම ගිණුම, විදේශ සංචිත ඇතුළු ආරක්ෂණ ගොඩනැංවීමද ඊට ඇතුළත්. විශේෂයෙන් වෙළෙඳපොළ ව්‍යුහයන් ශක්තිමත් කරලීම තුළින් ඉදිරිපෙළ වෙළෙඳපොළවලට ප්‍රාග්ධන මූල්‍ය දේශීයව වුණත් සම්පාදනය කරගත හැකිවනවා.”