අංක එකේ ඔන්ලයින් අධ්‍යාපනික මෙහෙවර : ඩීපී එඩියුකේෂන් 6 වැනි සංවත්සරය සමරයි !

0
294

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඔන්ලයින් අධ්‍යාපන වේදිකාව වන ඩීපී එඩියුකේෂන් වැඩසටහන අද (ඔක්තෝබර් 18) දිනයේදී සිය 06 වැනි සංවත්සරය සමරයි.

ඩීපී එඩියුකේෂන් යනු මෙරට අංක එකේ ව්‍යාපාරිකයකු මෙන්ම අංක එකේ දානපතියකු ද වන ධම්මික පෙරේරා මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ප්‍රිසිලා පෙරේරා මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් බිහිකෙරුණු ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම මගින් සිදුකෙරෙන අති දැවැන්ත සමාජ මෙහෙවරකි.

පෙරපාසල් අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට අනිවාර්යය විෂයයන් රැසක් දිවයිනේ දක්ෂතම ගුරුවරුන් මාර්ගයෙන් ඔන්ලයින් ක්‍රමයට සම්පූර්ණයෙන්ම නොමිලේම ඉගෙනීමට අවස්ථාව මෙහිදී සපයා ඇත.

එසේම පිරිවෙන් විෂයය නිර්දේශය ද මෙහිදී ආවරණය කර ඇති අතර වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි ද අවධානය යොමුකර තිබේ. විශේෂයෙන්ම මෙරට දුවාදරුවන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා විශාල ප්‍රමාණයක් බිහිකිරීමේ අරමුණින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන තවත් සුවිශේෂී පියවරකි.

එමෙන්ම දෙස් විදෙස් රැකියා අවස්ථා රැසකට මග පෙන්වීම වෙනුවෙන් පවත්වාගෙන යන භාෂා පාසලක් ද ඩීපී එඩියුකේෂන් යටතේ පවතින අතර ඉංග්‍රීසි, ජපන්, ඉතාලි ඇතුළු භාෂා කිහිපයක්ම ජාත්‍යන්තර විභාග පරිසාධන මට්ටමටම ඉගෙනීමට එහි අවස්ථාව සලසා ඇත.

මීට අමතරව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීම වෙනුවෙන් මෙන්ම රටේ දරු දැරියන් අතර අධ්‍යාපන අවස්ථා වඩාත් ප්‍රචලිත කරමින් ඔවුන්ව අධ්‍යාපනය කෙරෙහි වඩාත් ඇද බැඳ තබාගැනීම වෙනුවෙන් ඩීපී එඩියුකේෂන් වෙතින් වසරක් පසා සිදුකෙරෙන විවිධ වැඩසටහන් ද රාශියකි.

අවස්ථා ගණනාවකදී දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද සම්මානයට පාත්‍ර වූ එවන් ඩීපී එඩියුකේෂන් වැඩසටහන 6 වැනි සංවත්සරය සමරන මොහොතේ ඩීපී එඩියුකේෂන් සමසභාපති ධම්මික පෙරේරා ඒ සම්බන්ධයෙන් තබා ඇති සටහන පහතින් දැක්වේ.


ඩීපී එඩියුකේෂන් අපි, සය වසරක් වූ අධ්‍යාපනික මෙහෙවර සමරණ මේ සුවිශේෂී දිනයේදී, සෑම සිසුවෙක්ටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ මහඟු කාර්යභාර්යය පෙරදැරිව මේතාක් ගමන් කළ මග අපි ඉතා ආඩම්බරයෙන් සිහිකරන්නෙමු.

ශ්‍රී ලංකාවේ සෑම දරුවෙක්ටම නොමිලේ, ඉතා ගුණාත්මක අධ්‍යාපනයක් එක හා සමානව ලබාදීමේ දැක්ම පෙරදැරිව අප 2019 වසරේදී ඇරඹූ මේ කර්තව්‍යය, 2025 වසර වන විට ජීවිත රැසක දැවැන්ත පෙරළියක් සිදුකළ දීපව්‍යාප්ත ක්‍රියාදාමයක් බවට පත්වී තිබේ.

2019 ඔක්තොම්බර් 18 වන දින ඇරඹි අපගේ වැඩපිළිවෙළ සනිටුහන් කරන මේ විශේෂ දිනය, අප මේ වන විට සිදුකර ඇති වැඩකටයුතු නැවත මතක් කිරීමක් පමණක් නොව ඩීපී එඩියුකේෂන් අපේ නොවෙනස්වන දැක්ම තවදුරටත් තහවුරු කිරීමක්. ඉදිරියටත්, අනාගත පරම්පරාව දැනුමින් සන්නද්ධ, හෙට ලොව දිනන කුසලතාවන්ගෙන් සපිරුණ පුරවැසියන් බවට පත්කිරීමේ අපේ දැක්ම, වඩාත් ශක්තිමත්ව, පවතිනු ඇත.

ඉදිරි වසර පහ (2025 – 2030) සඳහා අපගේ උපායමාර්ගික වැඩපිලිවෙළ ගැන දැනගන්න පිවිසෙන්න –
https://drive.google.com/file/d/1oaYQozq5HZWsMRkS0W0lFQqlcJYwtI5P/view?fbclid=IwY2xjawNf2UlleHRuA2FlbQIxMAABHupmwWR1lrBrhtNkhZcPAvnI_1QT0m6ti_HekraW2QI7YiAO7c1gDrzTsJ3P_aem_vi1B4xeeffYG7ZiqpaxhRw

~ ධම්මික පෙරේරා