කොළඹ LNW:අනාගත දරු පරපුර සාරධර්මවලින් සම්පූර්ණ නොකළහොත් ශ්‍රී ලංකාව කෙදිනකවත් ආචාරශීලි රටක් බවට නොවනු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පැවසීය.
වර්තමාන වැඩිහිටි පුරපුර ආචාරශීලී අයුරින් හැඩගැසීම අසීරු වුවත් අනාගත පරපුර සාරධර්ම හා ආචාරශීලි බවින් යුක්තව හැඩ ගැසීමට හැකියාව පවතින බවයි අභයකෝන් මහතා කීවේය.
පාසල් දූ දරුවන්ගේ ආචාර ධර්ම ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කරන ආකල්ප හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ මධ්‍යම පළාත් සමාරම්භක වැඩසටහනේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ආණ්ඩුකාරවරයා එහිදී මේ බව කීවේය.
මහනුවර අධ්‍යාපන කලාපයේ කලාප 05ක පාසල් නියෝජනය කරමින් මහනුවර ශාන්ත සිල්වෙස්තර් විදුහලේදී අද (25) පැවැති වැඩසටහන සඳහා දූ දරුවන් සියයකට අධික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් සඳහා මාසයක් තුළදී තෝරාගත් දින හතරක කාලයක් තුළ නායකත්ව පුහුණු වැඩසටහන් මේ යටතේ පැවැත්වේ.
එහි සමාරම්භක අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු රැකියාවක් වෙනුවෙන් වෙනත් රටක ජීවත්වන්නේ නම් එරට නීතිය සහ ආචාර ධර්ම වලට අනුකූලව ජීවත් වන නමුත් ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙරට පරිසරයට හානි වන අයුරින් තමන්ට රිසි පරිදි ජීවත් වන බව කීවේය.
එහිදී පරිසරය රැකීම නීතියට අනුකූලව ජීවත්වීම එකිනෙකාට ගෞරව දැක්වීම ආදිය සිදු නොකරන නමුත් වෙනත් රටකදී ඒ රටේ නීතියට ගරුත්වය දක්වන බව කීවේය.

එනමුත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ අපේක්‍ෂා කරන්නේ යහපත් ගුණගරුක හා නීත්‍යානුකූලව ජීවත් විය හැකි පුද්ගලයකු නිර්මාණය කිරීම යැයි පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා එවැනි පුද්ගලයකු බිහි කිරීම සඳහා දූ දරුවන් පුහුණු කිරීම වඩාත් පහසු යැයි කීවේය. ඇතමුන් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් යැයි විශ්වාස කරන බවත් එය එසේ නොව මිනිසාගේ මනස ද සමාජයේ ජීවත්වීමට හැකි අයුරින් නිර්මාණය කිරීම සහ විනිවිද භාවයෙන් යුක්ත රටක් අපේක්ෂා කරන බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන මහත්මිය, ක්ලීන් ශ්‍රී ලංකා පළාත් සම්බන්ධීකාරක සමන්තා දසනායක මහත්මිය, මහනුවර කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්තිකා ප්‍රියදර්ශනී මහත්මිය, මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ විදුහල්පති අසේල රණසිංහ මහතා ඇතුළුව විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය,නායකත්ව පුහුණුව ලබන දරු දරුවන් ඇතු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


පළමු අදියර යටතේ මහනුවර කලාපයේ වත්තේගම, කටුගස්තොට, තෙල්දෙණිය සහ හඟුරන්කෙත යන සහාය කලාප ආවරණය කරමින් දූ දරුවන් සහභාගි වූ අතර එහි දෙවන වැඩසටහන යටතේ දෙනුවර සහ කොත්මලේ ද තෙවන වැඩසටහන යටතේ වලපනේ සහ හැටන් සහය කලාපද සිව්වන වැඩසටහන යටතේ නාවල, මාතලේ සහ විල්ගමුව යන අධ්‍යාපන කලාප වල දූ දරුවන් සම්බන්ධ කරගැනීමට නියමිතය.
නදීක දයා බණ්ඩාර – මහනුවර

