21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

Date:

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට සහභාගී නොවීමට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

එම රැලියට සහභාගී වීමට නියමිත දේශපාලන පක්ෂවලට ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සහ ගමන් මගට එරෙහිව තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවක් නොමැති වීම හේතුවෙන් මෙසේ සිය පක්ෂය ඊට එකතු නොවන බවයි විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් එකතුවෙන් නොවැම්බර් 21 වනදා මෙම රැලිය පැවැත්වීමට සූදානමින් සිටින අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය මීට සහභාගී නොවන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

******************************

මාධ්‍ය නිවේදනය :

මහජන හඩ
සංවිධායක කමිටුව,

නොවැ: 21 නුගේගොඩදී පැවැත්වීමට සැළසුම් කර ඇති “විපක්‍ෂයේ” රැළිය පිළිබඳව

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය පාලනය විසින් අපගේ රට බාරගත්තේ, 76 වසරක් තිස්සේ පැමිණි ගමන් මග වෙනුවට නව ප‍්‍රගතිශීලී හා ජනහිතකාමී යුගයකට අපගේ දේශය ඔසවා තබනු ලබන බවට වූ පොරොන්දු රාශියක් මහජනතාව හමුවේ තබමිණි. ගෙවී ගිය වසරකට වැඩි එම පාලන කාලය තුළ මැනැවින් සනාථ වී ඇත්තේ, එය විසින් විකල්ප හා නවීන සමාජ ආර්ථික හා සංස්කෘතික මාවතකට අප දේශය කැඳවනු වෙනුවට අසාර්ථක පැරණි මාවතේම ඇතැම් විට කලින්ටත් වඩා බොහෝ සෙයින් හානිකර ලෙස රට ප‍්‍රපාතය කරා ඇදගෙන යමින් තිබෙන බව ය.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බොරු පොරොන්දු රාශියක් රට හමුවේ තබමින් ද, පොදුවේ සමස්ත දේශපාලන හා නිලධාරී තන්ත‍්‍රය පිළිබඳව වෛරය වඩවමින් ද බලය ලබාගත් බව අපි දනිමු. එලෙස බලය ලබා ගැනීමෙන් අනතුරුව එම පාලනය විසින් ඉටු කරමින් සිටින්නේ පොදු ජනයාට පොරොන්දු වූ කිසිවක් නොවන බව පැහැදිළි ය.

ඒ වෙනුවට,

(අ). රාජ්‍යයේ ස්වෛරීභාවය හා ආර්ථික ස්වාධීනත්වය පාවා දෙන ගිවිසුම් ඉන්දියාව ඇතුළු බාහිර පාර්ශවයන් සමග අත්සන් කරමින් හා මහජනතාවට ඒවා සඟවා තබා ගනිමින් ද,
(ආ). රට ගොදුරු කොට ඇති ආර්ථික අර්බුදයෙන් හා තීරණාත්මක ණය අර්බුදයෙන් රට ගොඩගන්නා මාවතක ගමන් කරනු වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අසාර්ථක වට්ටෝරුව කර තබාගෙන ගමන් කිරීමෙන් ද,
(ඇ). දේශයේ නිෂ්පාදන ආර්ථිකය (කාර්මික හා කෘෂි ආදී සෑම කේෂ්ත‍්‍රයක් තුළම දරුණු ලෙස බිඳවට්ටමින්, එම ආර්ථික ක‍්‍රියාවලියේ නියුතු ජනයා බලවත් පීඩාවකට ගොදුරු කරමින් ද,
(ඈ). රජයේ උපායමාර්ගික තීරණාත්මක වැදගත්කමින් යුත් රාජ්‍ය ආයතන විදේශීය සමාගම් වෙත විකුණා දමමින්, රාජ්‍ය හා මහජනතාව බලවත් අසරණ ඉරණමකට ඇද හෙළමින් ද,
(ඉ). නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමේ නාමයෙන් ඉතිහාසය, බුදු දහම හා සෙසු ආගම් පිළිබඳ අධ්‍යාපනය පිළිකන්නට දමා, මෙරට මහා සංස්කෘතියට පටහැනි LGBTQ ආදී සුළුතර ලිංගික ප‍්‍රවණතා ප‍්‍රවර්ධනය කිරීම හරහා මෙරට දරු පරපුර අසංස්කෘතික ජීවියකු බවට පත් කරමින් ද,
(ඊ). මෙරට ගෞරවණීය මහා සංඝරත්නයත්, උන්වහන්සේලාගේ ශාසනික හා සමාජමය කාර්යභාරයත් උතුරු පළාත හා රටේ සෙසු පළාත් බොහොමයක් තුළ දී බලවත් තර්ජනයකට වැඩි වශයෙන් මුහුණ පා ඇත්තේ, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ වන අතර, බුද්ධ ශාසනයත්, එය තුළින් බිහි වූ මහා සංස්කෘතියත් වනසන මිස දුටු බලවේග පෝෂණය කරමින් හා එමගින් බුදු සසුන බලවත් අනාරක්ෂිත ඉරණමකට ඇද හෙළනු ලැබීමෙන් ද,
(උ). ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගම් වෙත පැවරීම හරහා මෙරට වැසියන්ගේ සියළු ජෛවමිතික දත්ත ඉන්දියාව සතු කර ගැනීමට මහ පාදා දෙමින් ද,
(ඌ). සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සතු වැඩකරන ජනතාවගේ අරමුදල් රාජ්‍ය වියදම් පියවා ගැනීමේ උවමනාව වෙනුවෙන් කොල්ල කෑමට ක‍්‍රියාමාර්ග සකස් කරමින් ද,
(එ). එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සහ එයට හිතවාදී ජාත්‍යන්තර බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රය අනුව යමින්,
i. විරෝධාර රණවිරුවන් අත්අඩංගුවට ගනිමින්, රාජ්‍ය හමුදා බෙලහීන කිරීමත්,
ii. ජිනීවා මානව හිමිකම් කොමිෂමේ ශ‍්‍රී ලංකාවට හතුරු යෝජනා පිළිගෙන ඊනියා යුද අපරාධ චෝදනා සනාථ කර ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ද`ඩුවම් කිරීම පිණිස ස්වාධීන අභිචෝදක කාර්යාලය සහ තවත් ඒ සඳහා වූ ව්‍යුහයන් පිහිටුවීමට ක‍්‍රියා කිරීමත්,
iii. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වා, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව බලාත්මක කිරීම මගින් හා මහ ඇමැතිවරයාට අවනත ආණ්ඩුකාරවරයකු පත් කිරීම හරහා රාජ්‍යය බෙදා වෙන් කිරීමේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය බල ගැන්වීමට කටයුතු කිරීමත්,
ඒ මගින් රාජ්‍යයේ ඒකීයභාවය හා වීරෝධාර රණවිරුවන්ගේ ඉරණම අතිශය අවධානමට ඇද හෙළමින් ද,
(ඒ). මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් එම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දාස ආයතනයක් බවට පත්කොට තිබෙන තත්වය එසේම පැවතීමට කටයුතු කිරීමෙන් ද,
(ඔ). විදේශ විනිමය පණත වහා සංශෝධනය කර, රටට අයිති විදේශ විනිමය නිශ්චිත කාලයක් තුළ රට තුළට ගෙන්වා ගැනීම සහතික කිරීමට පියවර නොගැනීමෙන් හා තවත් ගත යුතු නිවැරදි පියවර නොගැනීමෙන් වත්මන් ආර්ථක අර්බුදයේ කරවටක් ගිල්වා තව තවත් අපගේ රාජ්‍යය හා එහි වෙසෙන ජනතාව අසරණභාවයේ පතුළට ඇද හෙළමින් ද,
( ඕ) අසීමාන්තිකව බදු බර හා ජීවන බර වැඩි කරමින් ජීවත්වීමට තබා හුස්ම ගැනීමටවත් අසීරු ඉරණමක අති බහුතර මහජනතාව ඇද වට්ටවාලීම තුළින් ද,

ආණ්ඩුව තවදුරටත් ගමන් කරමින් ඇත්තේ, බරපතළ ජනතා ද්‍රෝහී හා දේශද්‍රෝහී මාවතකය.

එබදු පාලනයක් නොපමාව පරාජයට පත් කළ යුතු බව පිළිගන්නා අපි එය කළ යුතු වන්නේ, එම ගමන් මගට ප‍්‍රභලව හා විවෘතව එරෙහිවන, එම විනාශකාරී ප‍්‍රතිපත්තිය පැරදවීමට සමත් හා විකල්ප නිවැරදි ප‍්‍රතිපත්ති මත නොබියව සිට ගැනීමට සමත්, මහජනතාව ඒ අනුව දේශපාලන වශයෙන් පෙළ ගැස්වීමට නායකත්වය දෙනු ලබන අවංක හා එඩිතර දේශපාලන නායකත්වයන් මගින් බව බලවත්ව විශ්වාස කරමු. එසේ නොමැතිව ජනප‍්‍රිය ආණ්ඩු විරෝධී සරල සටන් පාඨ ඔසවාගත්, එක් හෝ වෙනත් පුද්ගල නායකයන් අභිෂේක ගැන්වීම අරමුණු කරගත් පටු හා වංචනික දේශපාලන මැදිහත්වීමකින් සැබෑ ලෙසම වත්මන් ආණ්ඩුවත්, එය සතු වැරදි ප්‍රතිපත්තිමය ගමන් මගත් පැරදවිය නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ එකතුවකින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ආණ්ඩු විරෝධී රැළිය, අප ඉහත දක්වා ඇති ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එකගතාවකින් තොර හා ඊට ප‍්‍රතිවිරුද්ධ පුළුල් හා නිවැරදි වැඩපිළවෙලක් පිළිබඳ එකගතාවයකින් තොර එක්සත් ක‍්‍රියාමාර්ගයක් ලෙස අපි වටහාගෙන සිටිමු. සරල හා පටු ආණ්ඩු විරෝධය වෙනුවට, ඉහත අප පෙන්වා දී ඇති පරිදි ගැඹුරු හා අර්ථවත් ආණ්ඩු විරෝධයත්, ඒ මත ගොඩනැගෙන විකල්ප ප‍්‍රතිපත්තිමය පදනම මත සිදු කෙරෙන දියුණු මඟපෙන්වීමත් අද ජාතියට අත්‍යවශ්‍ය වී ඇති බව අපි දැඩිව විශ්වාස කරමු. මුලූ මහත් ජාතියට ම`ග පෙන්වනු ලබන එබදු බලවත් ජනතා න්‍යාය පත‍්‍රයකින් තොරව හා අප සියළු පක්‍ෂවල අතීත භාවිතයන් පිළිබඳ විවෘත හා අවංක ස්වයං විවේචනයක නිරත වීමෙන් තොරව සිදු කෙරෙන කුමන දේශපාලන කටයුත්තක් වුව ගැඹුරු හා තියුණු අර්බුදයක කරවටක් ගිලී පීඩාවෙන් පීඩාවට පත්ව සිටින අපගේ ජන සමාජයට හා සියවස් ගණනාවක ඓතිහාසික උරුමයට හිමිකම් කියන අපගේ රාජ්‍යයට සාධාරණයත්, ගෞරවයත් සැබෑ ජයග‍්‍රහණයත් හිමිකර නෙදෙන බව කණගාටුවෙන් වුව පැවසිය යුතුව ඇත.

එබැවින්, නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත රැළිය සඳහා, ඉහත දැක්වූ හේතු මත අප පක්‍ෂය සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්, අප ඉහත පෙන්වා දී ඇති දේශපාලන කරුණු නිවැරදිව හා සම්පූර්ණව සැළකිල්ලට ගත් සාධනීය පරිවර්ථනයක් විපක්ෂයේ පක්ෂ එකමුතුව අතර ඇති කෙරෙන තත්වයක් තුළ පමණක් අප පක්‍ෂයේ සජීවී දායකත්වය ආණ්ඩු විරෝධී පොදු ක‍්‍රියාමාර්ග සඳහා ලබාදීමට ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු සහගතව සිටින බවත් අවසන් වශයෙන් ඔබ වෙත අවධාරණය කර සිටිමු!
ආණ්ඩුවේ ජනතාද්‍රෝහී – දේශද්‍රෝහී ප‍්‍රතිපත්තියට එරෙහිව, නිවැරදි ප‍්‍රතිපත්තිමය පදනම මත පිහිටා ආණ්ඩුව පළවා හැරීමේ සටන බලගැන්වීම කෙරෙහි මින් ඉදිරියට හෝ දැඩි ලෙස අවධානය යොමුකිරීමට ඔබ සැමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කර සිටිමු.

ස්තූතියි.
මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)
2025.11.07

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...