මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි උපන් දිනය අදට (නොවැම්බර් 18) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

පුද්ගලයෙකු 80 වැනි සපුරන මොහොත යනු සුවිශේෂී මොහොතකි. තමන් නියෝජනය කළ කවර හෝ ක්ෂේත්‍රයක ඉහළටම ගිය පුද්ගලයකු 80 වැනි වියට එළඹීම යනු වඩාත් සුවිශේෂී තත්වයකි. 80 වැනි වියට පා තබන්නෙකුට තවත් අත්පත් කරගැනීමට දෙයක් නොමැත. අත්පත් කරගත්ත ද රඳවා තබාගත හැකි දෙයක් නොමැත. 80 වැනි විය යනු ජීවිතයේ සැඳෑ සමයේත් කෙළවරට ළං වීමයි.

80 වැනි වියෙන් එපිටට පුද්ගලයෙකුට ඇත්තේ තමන් ආ දීර්ඝ ගමන් මගේ හොඳ සහ නරක අත්දැකීම් දෙස ආපසු හැරී බැලීමක් පමණි. එය ඔහුටත් වඩා ඒ මගේම ගමන් කරමින් සිටින සහ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් අයට අතිශයින්ම වැදගත් ය.

මහින්ද රාජපක්ෂ යනු මහා ලොකු දේශපාලන දර්ශනයකින් සන්නද්ධ වූ අයෙකු නොවේ. ඔහු හැමදාමත් කළේ “එදාවේල දේශපාලනයයි”. ඔහුටම සුවිශේෂී කාරණාවලටත් වඩා ඒ ඒ මොහොතට හිමි ඓතිහාසික තත්වයන් සමග මහින්දගේ එදාවේල දේශපාලනය ඔහුව ඉහළටම ගෙන ගියේය. එසේම ඉහළ ගියාට වඩා අධිවේගයෙන් යළි පහළටත් හෙළුවේය.

මහින්දගේ නමට ලියැවුණු ඉහළම ජයග්‍රහණය වූ යුධ ජයග්‍රහණය වුවත් අදියර කිහිපයකදී සිදුවූ දෙයකි. සහාය දිවීමේ තරගයක් වැනි වූ එහි අවසන් වටය දිවීමට අවස්ථාව ලැබුණේ මහින්දට ය. ඔහු එය හැකි උපරිම වේගයෙන් දිව්වේ ය. විජයග්‍රාහී නායකයකු වශයෙන් ලංකා ඉතිහාසයට ද එකතු වූයේය. ඒ ජයග්‍රහණයට එකතු වූ අනෙකුත් සාධකත් මහින්ද නමැති සාධකයත් හා සමානවම එම ජයග්‍රහණයට ප්‍රභාකරන්ගේ මෝඩ උද්දච්ඡකමත් බලපෑවේ ය. පැත්තකින් සිට බලනවිට රාජපක්ෂලාට වඩා දෙමළ ජනතාවට විනාශය ගෙන ආවේ ප්‍රභාකරන්ගේ උදදච්ඡකම මය.

ඕනෑම නතර වූ ඔරලෝසුවක් පවා දිනකට දෙවරක් නිවැරදි වේලාව පෙන්වයි. එය ජීවන යතාර්ථයයි.

යුධ ජයග්‍රහණය මතින් රජෙකුට අන්දවනු ලැබූ මහින්ද ඒ ජනතාව විසින්ම රටේ අංක එකේ ද්‍රෝහියා බවට නම් කරන්නට ගතවූයේ ඉතාම කෙටි කාලයකි. එදා 2022 මැයි 09 වනදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ගේට්ටු බිඳින්නට පොරකෑවේ ද ඊට ටික කලකට පෙර මහින්දගේ පාමුල වැටී දෙපා වඳින්නට පොරකෑ ජනතාවම ය. ඒ රාත්‍රියේ මහින්දව බේරාගත්තේ අරලියගහ මන්දිරයේ ගේට්ටුවල අජීවී සරනේරු පමණි. ඒ සරනේරු ඒ මොහොතේ බිඳ වැටිණි නම් මහින්දට අත්වන්නේත් ඔහුගේ ගජමිතුරෙකු වූ ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිට අත්වූ ඉරණම හෝ ඊටත් වඩා බිහිසුණු ඉරණමකි. එහෙත් මහින්ද දෛවෝපගත ලෙස එයින්ද බේරුණේය.

එදා පාරටවත් බසින්නට නොහැකිව සිය පවුල පිටින්ම සැඟවී සිටින්නට සිදුවුණු මහින්ද අද තංගල්ලේ පිහිටි සිය නිවසට වී විවේක සුවයෙන් සිටී. එදා ඔහුව නසන්නට සොය සොයා රටපීරූ ජනතාව අද ඔහුව බලන්නට තෑගි බෝගත් රැගෙන තංගලු යති. මේ සියල්ලට ගතවුණේ ඉතා කෙටි කාලයකි. ජීවිතය යනු එහෙමත් එකකි.

ඇමරිකානු ජනතාව මෙන්ම ලොවවටා බොහෝ රටවල ජනතාව හැමදාමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට බනිති. එහෙත් කිසිවෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ව ජනාධිපති ධුරයට පත්කළ ජනතාවට බනින්නේ නැත. පළමු ධුර කාලයේදී හොඳටෝම එපාවී ජනතාව විසින්ම ගෙදර යවනු ලැබූ ට්‍රම්ප්ව ඒ ජනතාවටම වසර කිහිපයකින් පසු නැවතත් වුවමනා වුණි. ඔය ආකාරයෙන්ම මහින්ද තියා ගෝඨාභයගේ වුවත් හොඳ කියන්නට අපේ ජනතාව පෙළඹෙන දිනක් එළඹෙන්නේ නැතැයි කාටවත් කිව නොහැක. එය වන්නේද නැද්ද යන්න තීරණය වන්නේ දැනට සිටින සහ ඉදිරියට එන පාලකයින්ගේ කෙරුවාව අනුව ය.

පුද්ගලිකව බැලුවහොත් මහින්ද රාජපක්ෂ යනු සුන්දර මිනිසෙකි. මිනිසුන් ඇසුරු කිරීමට කැමති, කලාව කෙරෙහිත් ලැදි, හොඳට කන බොන මිනිසෙකි.

අනෙක් අතට මසුරු බව සහ ධනයට ඇති අධික ආශාව දකුණේ මිනිසුන්ගේ ස්වභාවයකි. බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරිය බළල් පැටවෙකුවත් මෙපිටට නොගෙනෙන්නැයි කතාවක් හැදී ඇත්තේ ද ඔය නිසා ය. මහින්දටත් එයින් ගැළවීමක් නොවුණි. එහෙත් එදා ඒ හඹාගොස් ලබාගත් සියල්ල දෙස අද 80 වැනි වියෙහි සිට බලද්දී එයින් කොපමණ දෙයක් අද ඉතිරි වී ඇතිද ? ඒ ඉතිරි වී ඇති දෙයකින් පවා ඔය 80 වැනි වියේදී කුමක් කළ හැකිද ? බුදු දහමින් ද පැහැදිලි කරන්නේ ඔන්න ඔය යතාර්ථයයි.

මහින්ද සමග අපට දිගටම ප්‍රශ්න තිබිණි. ගෝඨාභය සමගත් ඒ ආකාරයෙන්ම ප්‍රශ්න තිබිණි. ඒවා දේශපාලනික ප්‍රශ්නය ය. ඒ මොහොතේ කවුරුන් බලයේ සිටියත් ඒ ප්‍රශ්න අපට තිබෙන ඒවාමය. එහෙත් ඒ දේශපාලන ප්‍රශ්න නිසා අපට පෞද්ගලිකව පවා ප්‍රශ්න මතුවුණි. ඒවාට මුහුණ දෙන්නට අපටත් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුණි. එයිනුත් දීර්ඝ කලකට පසුව දැනගන්නට ලැබුණේ ඒ ප්‍රශ්න මතු කරමින් අපට අකටයුතුකම් කර ඇත්තේ මහින්ද හෝ ගෝඨා නොව ඔවුන්ට ළඟින්ම සිටි පිරිසක් බව ය. ඇතැම් සිද්ධි මහින්දලා ද නොදැන සිටි බව ය. අපට මහින්දලා සුද්ද කරන්නට කිසිත් වුවමනාවක් නැත. අප මෙය කියන්නේ අපට සිදුවුණු සිද්ධි දාමය පිළිබඳව පමණක් මිස වෙනත් කිසිදු සිද්ධියක් සාමාන්‍යකරණය කිරීමට නොවේ. එහෙත් දේශපාලන නායකයින්ට හොඳම එකෙන් කෙළවන්නේ ඔවුන් ළඟින්ම සිටින ඇතැමුන් බව කවුරු කවුරුත් සිහිතබා ගැනීම වටින්නේය.

මහින්ද යනු ආදර්ශයට ගත යුතු චරිතයකි. එයින් අදහස් වන්නේ ඔහු කළ සියල්ල හෝ ඔහු කළ බහුතරයක් දෑ හෝ හොඳය යන්න නොවේ. මහින්දව ආදර්ශයට ගෙන කළයුතු දෑ මොනවාද, නොකළ යුතු දෑ මොනවාද යන්න තේරුම් ගැනීම වත්මන් සහ අනාගත පාලකයින්ගේ වැඩකි.

බලය අත්පත් කරගැනීම යනු එකම දෙය නොවේ. වඩාත් තීරණාත්මක වන්නේ බලය පවත්වාගැනීමයි. සමස්තයක් වශයෙන් ගත් කල බලය අල්ලාගැනීම යනු 25%ක කොටසක් නම් ඉන් ඉදිරියට 75%ක්ම ඇත්තේ බලය පවත්වාගැනීම සම්බන්ධ දේවල් ය. එහෙත් අපේ රටට මේ බංකොලොත්, නන්නත්තාර ඉරණම අත්ව ඇත්තේ අපේ කිසිදු නායකයෙකුට බලය අල්ලාගැනීම ගැන සැලසුම් මිසක බලය පවත්වාගෙන යාමට කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත දැක්මක් නොමැති නිසා ය. එය අද බලයේ සිටින අනුර කුමාර දිසානායක මහතාගේ සිට සියල්ලටම පොදු තත්වයකි.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ බලයට පත්වෙද්දී දිවංගත ප්‍රවීන පුවත්පත් කලාවේදී අජිත් සමරනායක ඔහු ගැන ලිව්වේ Home Grown Politician යන යෙදුම භාවිතා කරමිනි. Home Grown Politician යන්න තුළම එහි බරපතළ සීමාව සටහන්ව තිබිණි. මහින්ද අතින් එය නැවත නැවතත් ඔප්පු වූ ආකාරය පසුව දැකගන්නට ලැබිණි.

80 වැනි විය සපුරන මහින්ද දෙස බලා අප ඉගෙනගත යුත්තේ ද තමන්ම දෙස බලා මහින්ද ඉගෙනගත යුත්තේ ද එකම දෙයකි. එය නම් මේ සියල්ල තාවකාලික දේවල් බව ය. ජීවිතයේ යම් යම් අවධීන් තුළ අප තරයේ බදාගන්නේ ඊළඟ මොහොතේ අතහැර යායුතුම වන දේවල් බව ය. ජීවිතය නමැති රඟමඬලට අප ගොඩවන්නේ කෙටි රඟපෑමකින් පසුව බැස යන්නට පමණක්ම බව ය. අපටත් වඩා හොඳින් මේ කාරණාව තේරුම්ගත යුතු වන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය.

බලය සදාකාලික නැත ….

මහින්ද රාජපක්ෂ මහතානෙණි, ඔබට සුබ උපන් දිනයක් !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...