ආණ්ඩුවට රතු එළියක් !

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW: 221 වැනිදා නුගේගොඩ දී වුණේ මොකක්ද යන්න පිළිබඳව මේ විවිධ අදහස් පළවනවා. අපිත් ඒ ගැන මොකක් හරි නොකිව්වොත් ඒකත් කුහකකමක්. පොඩි ඉඩකඩක් වුණත් උතුරලා යන්න සෙනග ආපු එක සත්‍යයක්. සමහරුන්ට අනුව නම් අනුරගේ ආණ්ඩුව පැරදිලා ඉවරයි. නාමල් රාජපක්ෂට දැන් තියෙන්නෙ ජනාධිපති හැටියට දිවුරුම් දෙන්න විතරයි .

මං නං හිතන්නෙ එච්චරම උඩපනින්න දෙයක් සිද්ධ වුණේ නෑ. හැබැයි ආණ්ඩුවට රතු එළියක් දැල් වුණ එක ඇත්ත. ⁣අනුරලට තියෙන්නෙ මේ ගැන දැඩි ලෙස අවධානය යොමු කරල අඩු පාඩු හදා ගන්න එක විතරයි. හැබැයි ඒකත් අපි ඔය කියන තරම් ලේසි නෑ. තාමත් අපි හැදෙන පවුලක්. කොහොම හරි ගොඩදා ගත්තොත් 21 නුගේගොඩ රැළිය ආණ්ඩුවට ආශිර්වාදයක් කරගන්නත් පුළුවන්. එහෙම නැතුව සුපුරුදු උද්දච්කමේම රැඳිල, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ හතර අතේ වනන්න ගියොත් සුන්බුන් විපක්ෂය වෙනුවට සුන්බුන් ආණ්ඩුවකට රූපාන්තරණය වෙන්නත් පුළුවන්. දැන්වත් ගෝත්‍රික චින්තනයෙන් එළියට ආවොත් හොඳයි. අපි විතරයි වැඩකාරයො,අපි ඇර අනිත් හැම එකාලම වංචනිකයි කියල හිතන්නෙ නැතුව පොඩ්ඩක් නිහතමානී වෙන්න බලන්න .

කොහොම වුණත් නුගේගොඩ ආපු සෙනග ගෙන් නම් ආණ්ඩුවේ ආයු කාලය මනින්න බෑ. පසුගිය ජනාධිපති වරණ කාලෙ රනිල්ලගෙ රැස්වීම්වලට කොච්චර සෙනග ආවද? දක්ෂ සංවිධායකයන්ට පුළුවන් නුගේගොඩ ඔය පුංචි අල්ලක් වගේ ඉඩම නෙමෙයි ඕනෑම ලොකු පිට්ටනියක් පුරවන්න. ඉස්සරත් ජවිපෙ රැස්වීම්වලට තමයි කට කපල මිනිස්සු පිරෙන්නෙ. ඒත් ඡන්දෙකට ගියාම ආසන දෙකයි තුනයි. දැන් මතක් කරන්නෙවත් නැති චන්ද්‍රිකාට සෙට් වෙලා හිටපු කාලෙ තමයි ආසන තිහක් විතර දිනා ගත්තෙ. අතීතයෙත් ඔහොම තමයි.1977 දි සිරිමාවෝගෙ ප්‍රධානත්වයෙන් පැවති සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දිත් රැස්වීම්වල කට කපල සෙනග.

කොහොම කළත් ආණ්ඩුවට පොඩි කනේ පාරක් නම් වැදුන. හැබැයි උන ගන්ඩ ඇත්තෙ සජිත්ට. එයා නම් හිතන්න නෑ නුගේගොඩ රැළිය ඔය තරමින් හරි ගොඩදා ගනී කියල. හැබැයි නම්බුකාරයි. අවුරුදු ගානක් රාජපක්ෂලාට හොරු හොරු කියල අවලාද නගල මොන ලැජ්ජ නැති වැඩක්ද කාට එරෙහිව හරි එකට හිට ගන්න එක. රනිල්ට නම් ලැජ්ජාව කියල දෙයක් නැති නිසා කමක් නෑ. එයා නාවට ගෝල බාලයො ආවනෙ. රනිල් වැඩකාරයා තමයි. හැබැයි යූ.ඇන්.පිය බිංදුවටම බැස්සුවෙත් එයා තමයි. නුගේගොඩ දි වුණේ පෙට්ටියේ අන්තිම ඇනයත් ගහපු එක.

මාලිමා ආණ්ඩුව මොන මොන හේතු නිසා මේ කෙටි කාලෙට සෑහෙන පිරිසක් තරහ කරගෙන. ඒත් ඒ හුඟක් අවස්ථාවල ආණ්ඩුව නිවැරදියි කියලයි මං හිතන්නෙ . කොහොම වුණත් බලයෙ ඉන්න ආණ්ඩුව ගැන දවසින් දවස මිනිස්සු කලකිරෙනව. ඒක ස්වාභාවිකයි. විශේෂයෙන් අපේ වගේ දුප්පත් රටක.
අටෝරාසියක් ප්‍රශ්න වලින් මිනිස්සු දැවෙනවා. ඒවට ලඟ විසඳුම් නෑ. නමුත් බලයට එන්නෙ පොරොන්දු මල්ලක් එක්ක. එහෙම නැතුව බලය ගන්නත් බෑ.

මාලිමා ආණ්ඩුව ස්ථර ගණනවෙකින් යුක්තයි. ජවිපෙ තමයි න්‍යෂ්ටිය. පරණ කාඩර්වරු තාමත් ඉන්නවා. එහෙම නැතත් අලුත් කට්ටිය වුණත් ඉන්නෙ අර මානසික මට්ටමින්. ඒ ගොල්ලන්ව හොල්ලනව බොරු. මාලිමාව වටා ඒක රාශී වූ අනිත් කණ්ඩායමුත් විවිධයි. උගත් කවයක් තියෙනව ඒ ගොල්ලන්ගෙ කලකිරීම් තිබුණත් වෙන්වෙලා නාමල් ලට සෙට් වෙන්ඩ තරම් අමනෝඥයො නෑ. හිටියත් එකා දෙන්න.

මධ්‍යම පන්තියත් ස්ථර කිහියක්. ඉහළ, මැද, පහළ . ඔය තුනටම ප්‍රශ්න තියෙනව. තමන්ට හුරු පුරුදු සමාජ තත්ත්වය රැක ගෙන ජීවත් වීම තමයි බරපතළම ප්‍රශ්නය. ඒ අයගෙන් පිරිසක් නම් දැන් ඉන්වෙ එළිපත්තෙ .

ආණ්ඩුවට බරපතළම අභියෝගය එල්ලවෙන්නෙ 2015 දි මහින්ද එළවන්න දායක වෙලා ඊට පස්සෙ ගෝඨව ගෙන්න ගෙන පසුගිය ජනාධිපති ඡන්දෙදි අනුරව බලයට පත්කරන්න දායක වෙච්ච අය. එයින් සමහරු දැන් අනික් පැත්තට ගිහිල්ලා වෙන්නත් නැත්නම් ඉස්සරහට යන්න ඉන්නව වෙන්නත් පුළුවන්. මේ අය ලුම්පන් පන්තිය හා මිශ්‍ර වූවන්. ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලින් බැට කන උදවිය. දේශපාලනඥයන් දෙන පොරොන්දු විශ්වාස කරන අය.

කෙසේ වුවත් අවසානයට කියන්න තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නය ඇතුළු දැවෙන ප්‍රශ්නවලට කිසියම් සහනයක් ඇති නොකළොත් අනාගතයේ ආණ්ඩුවට එම තත්ත්වය පාරාවළල්ලක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මාධ්‍ය නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අත තියන්න පටන් අරන් – සජිත්ගෙන් චෝදනා

කොළඹ LNW:අප රටේ පොලිස් සහතිකයක් ලබා ගැනීමට වෙන කිසිදු...

ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36කට බලපෑම්!

කොළඹ LNW:අධික වර්ෂාව සහිත සුළං හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස...

McFoil, Mobil, Li Ning, 3M සහ GAC සමඟ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ගල්කිස්සට

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB)...

සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වළක්වන්න අළුත් වැඩක්!

කොළඹ LNW:සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේද සිදුවන දීර්ඝ...