ඉසුරු පරාක්‍රම
දෙසැම්බර් 17, කොළඹ (LNW): මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක වත්තක තුවාල ලබා වැතිර සිටි අලියකු දරුණු අන්දමින් ගිනි තබා පුළුස්සා දමන අයුරු දැක්වෙන අතිශයින් ආන්දෝලනාත්මක වීඩියෝපටයක් ඊයේ දින පටන් සමාජ මාධ්‍යවල සංසරණය වීමට පටන් ගෙන තිබේ.
ඊයේ (16) දින හටගෙන ඇති මෙම සිදුවීමෙන් අලියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවි නිලධාරීන් පවසා සිටියේ.
වෙඩි වැදීමක් නිසා ඉදිරි පාදය තුවාල ලබා වැතිර සිටි මෙම අලියාට ගිනිමැල අල්ලා පුළුස්සා දමන අයුරු එම වීඩියෝපටයේ දැක්වෙන අතර, සිදුවීම වාර්තා වූ වහාම එම ස්ථානයට වනජීවි හදිසි ප්‍රතිකාර කණ්ඩායම් එවා තිබුණ ද ඒ වන විට අලියා පිලිස්සීම නිසා හටගත් බරපතල තුවාලවලින් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මරණයට නිශ්චිතම හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පුරෝකථනය කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම අමානුෂික සිදුවීම හටගෙන ඇත්තේ මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක වත්තකවන අතර, සිදුවීම ඇසින් දුටු තැනැත්තන් එම දසුන පටිගතකර බලධාරීන් වෙත වහා දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශන දැනටමත් දියත්කර ඇති අතර, එම සත්ත්වයා ගිනි තැබීමට කටයුතුකළ පාර්ශවයන් හඳුනාගෙන වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බව ද වාර්තා වේ.
ජූරියයි, අලුගෝසුවයි එක්කෙනෙක් ද?
මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ සිදු වූ මෙම ඛේදවාදකය හුදෙක් වනජීවීන්ට එරෙහිව සිදුකළ අපරාධයක් පමණක් යැයි බැහැරකළ හැකි ද? යුක්තිය ලෙස පෙනී සිටිමින් කෲරත්වය රජයෑමට ඉඩ දුන් සමාජයක් පිළිබඳ බිහිසුණු පණිවිඩයක් මෙමඟින් ලබා දෙන බව පැවසුවහොත් වඩා නිවැරදි ය. ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම කිසිදා අවසානයක් නොදකින අවාසනාවන්ත අරගලයක් බව සැබෑ ය. නමුත් වෙඩි වැදීමෙන් ඉදිරි පාදය තුවාල ලබා දැනටමත් අසරණ ව සිටි වන අලියකුට අනුකම්පාව, සංයමය හෝ මූලික මනුෂ්‍යත්වයවත් ලබා නොදී, ඒ වෙනුවට ගිනි ජාලාවලින් ප්‍රතිචාර දැක්වීම ම්ලේච්ඡත්වයේ ලක්ෂණයක් ලෙස විස්තරකළ හැකි ය.
මෙය බිය හෝ ආත්මාරක්ෂාව උදෙසා කළ ක්‍රියාවක් යැයි සැලකිය නොහැකි ය. තුවාල ලැබූ අලියා අනාරක්ෂිත ව ගෙවත්තක නිශ්චලව වැතිර සිටි අතර, වනජීවී පශු වෛද්‍යවරු පැමිණ එම අසරණ සත්ත්වයාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහකළ නමුත් මනුෂ්‍ය අත්වලින් සිදු වූ පිළිස්සුම් තුවාල ඉක්මන් විය. තුවාල ලැබූ අලියා අහම්බෙන් මිය ගියේ නැත, එය හිතාමතා ම, වේදනාවෙන් පෙලෙන සත්ත්වයකු කෙරේ අංශු මාත්‍රයක සහකම්පනයක් නොදක්වා සිදුකරන ලද අපරාධයක් සේ සැලකිය හැකි ය.
වඩාත්ම අවධානය යොමුකළ යුතු කරුණ නම්, මෙම අසරණ සත්ත්වයාට එවැනි ඉරණමක් ලැබීමට සුදුසු යැයි තීරණය කළේ කවුරුන් විසින්ද?
සීප්පුකුලමේ මිනිසුන් අපරාධකරුවන් තම විනිසුරු, ජූරිය සහ අලුගෝසුවා ලෙස පත්කර ගත්තා ද? නීතියේ ආධිපත්‍යය වෙනුවට මැර කෲරත්වය ආදේශ වූයේ කවදා සිට ද? ශ්‍රී ලංකාවේ වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා නීති, ගැටුම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය ආයතන සහ එවැනි තත්වයන් හැසිරවීමට පුහුණු කරන ලද නිලධාරීන් සිටින පසුබිමක, තර්කයට වඩා ගින්න, සංයමයට වඩා ප්‍රචණ්ඩත්වය සහ අනුකම්පාවට වඩා ප්‍රදර්ශන තෝරා ගන්නා බව නොවේද මින් පෙන්නුම් කරන්නේ?
සමාජ මාධ්‍යවල සංසරණයවන මෙම ආන්දෝලනාත්මක වීඩියෝපටයෙන් තවත් ලැජ්ජාසහගත යතාර්ථයක් අපට සිහිපත්කර දෙයි. මෙය අතිශයින් ම කෲර ක්‍රියාවක් පමණක් නොව, ප්‍රතිවිපාක පිළිබඳ බියෙන් තොරව සිදු කරන ලද ක්‍රියාවකි. මින් හැඟවෙන්නේ අපරාධකරුවකු අපරාධයක් සිදුකර කිසිවිටකත් ඊට වගකිව යුතු නොවන බව ද? එම විශ්වාසය ම ඇතැම්විට රටේ යුක්තිය කෙතරම් දුර්වල ලෙස ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ පිළිකුල් සහගත යතාර්ථයක් පිළිබිඹු කරයි.
මෙම අලි මරණය තවත් එක් සංඛ්‍යාලේඛනයකට ලඝු නොකළ යුතු ය. මෙය දැක හදේ නැඟෙන කෙටි කෝපයකින් පසුව අමතකකර නොදැමිය යුතු ය. මෙම සත්ත්වයාට වෙඩි තැබීමට වගකිවයුතු අය සහ පසුව එම සත්ත්වයා ගිනි තැබීමට කටයුතුකළ අය, නීතියේ සම්පූර්ණ බලය යටතේ කඩිනමින් හඳුනා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ ඔවුනට දඬුවම් පැමිණවීම වහා සිදුකළ යුතු ය. ඊට අඩු ඕනෑම ක්‍රියාවක් පෙන්නුම් කරන්නේ ම්ලේච්ඡත්වය ඉවසා සිටින බවත්, බල රහිත දුර්වලයකු (මිනිසකු හෝ සතකු වේවා) ප්‍රතිවිපාක නොමැතිව විනාශකර දැමීමට සමාජය ඉඩ දෙන බවත් ය.

