නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW:
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ඉහළින්ම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව ඇයය.ආසියාව දෙවනත් කරමින් ශ්‍රී ලංකාවට මිටර් 800 රන් පදක්කම ගෙනා තරුෂි කරුණාරත්න වෙනුවෙන් ඇතැම් ක්‍රීඩා බලධාරීන් පැරිස් ඔලිම්පික් ගමණට බැරියර දමන බව දැනෙද්දි,ක්‍රීඩා කේෂ්ත්‍රය නොව මේ රටේ බොහෝ පුරවැසියන් තරුෂිව සිය සහෝදරිය කර ගත්තේය.දියණිය කර ගත්තේය.ඒ සිහින් සිරුරේ ඇති අයෝමය ශක්තියට ආශිර්වාද කරමින් යෝධ සිතුවිලි පහළ කරමින් සටන් වැදිණ.ඇය ඒ ශක්තියද මුසු කර වේගයෙන් දිව්වාය.පැරිස් ඔලිම්පික් උළෙලටද ගියාය.

ඇය ඔලිම්පික් දක්වා යන ගමණට සිය දෙපය මෙහෙයවන්නට උත්සාහ කළ පළමු පා පියවර තැබූ බිම අද දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී ඇත.ලංකාවේ මේ ගතවෙන තත්පරයේත් ඇයගේ ගම වන උඩුදුම්බර මිනිස්සු සිටින්නේ සිය ජීවිතය ගැන වූ අවිනිශ්චිත හැඟීමකින්ය.ගේ දොර වතු පිට සියල්ල අහිමිව ඇදිවතත් අනුන්ගේ වන තරමට දුකට වැටුණු මිනිසුන් මෙන්ම,තවම ජීවත් වෙනවාද නැද්ද කියාවත් නොදන්නා අතුරුදහන් වූ මිනිසුන් ද,අකාලයේ පස්කඳු යට,දිය රළ මත සැඟ වී ගිය ජීවිත බොහොමයක්ම තරුශිව දැක ඇති,කතා බහ කර ඇති ආදරණීය මිනිසුන්ගේය.
“ගම්වල මිනිස්සු එකිනෙකාට ගොඩක් කිට්ටුයි.ඒ නිසා ඉතිං පොඩි කාලෙ ඔය හුඟ දෙනෙක් මාව ඩාගෙන හුරතල් කරලා එහෙම ඇති.දැන් ඒ පැත්තෙම අවතැන් වූ මිනිස්සු ඉන්නෙ මම ඉස්සෙල්ලම ගිය ස්කෝලෙ නවත්තලා.චූලාභය විද්‍යාලය.මම,අයියා,නංගි ඔක්කොම ඉස්සෙල්ලම ගිය ස්කෝලෙ ඒක.“
තරුශි ගම ගැන මතකය අවදි කරමින් පවසන්නිය.අන්තර්ජාලය හරහා ගලා එන ඇයගේ ස්වරය තරගයක් අවසානයට අල්ලාගෙන ඉන්න හුස්ම මෙන්ය.දැඩිය.එහෙත් සැසලුම් සහිතවය.
“විපතට පත් වෙලා ඉන්න ඔක්කොම අපේ නෑයො.ළඟින්ම දන්න හිතවත්තු.කරදර පටන් ගන්න කොටම සංනිවේදන සම්බන්ධතාත් ඇණ හිටිලා තියෙනවා.ඒත් තාත්තල ගිහිං අපට පුළුවන් විදිහට සමීපතම නෑයො එළියට අරගෙන ආවා.පුළුවන්නම් ඔක්කොම අරගෙන එනවා.ඒත් එහෙම බැහැනෙ.හැමෝම ගැන දුකයි.ඒ මට ආදරය කරපු මාව බලාගත්තු ගම.මම රටෙන්ම ඉල්ලන්නෙ මාව බලාගත්තු ගම බලාගන්න කියලයි.එයාලට උදව් කරන්න.“

