කළු ජනවාරියේ සළු පාලිය ….

Date:

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ “ජන බලය සාමූහිකය” විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලත් කතාවක් කළා. ඔහු කියනවා ජනවාරි මාසයේ මරාදාපු ජනමාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන් පුස්සෙවෙල තමයිලු කළු ජනවාරි සංවිධානය හැදුවේ. නම තිබ්බෙත් එයාලු. ඒ වෙනුවෙන් ඔහු පාරටත් ආවලු. මේවා අහලා පණ පලයං පෙරේදා කිව්වලු.

ව්ලැඩිමීර් පූටින් මෙන් මාධ්‍යවේදී දුමින්ද සම්පත්ද වරෙක සභාපති හා වරෙක ලේකම් ලෙස දීර්ඝ කාලයක් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලතල හොබවනවා. පෝද්දල ලංකාවෙන් පිටුවහල් වෙද්දී මා වැඩ බලන සභාපති ලෙස පත්කළා. මාධ්‍යවේදී බිගුන් මේනක ගමගේ සමග වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉතිහාසය පිළිබඳ දුමින්ද සාකච්ඡාවක් කළා. එතැනදී ඔහු පෝද්දල දක්වා සිටි සභාපතිවරුන්ගේ නම් සඳහන් කරනවා. වසර තුනකට ආසන්න අසීරු කාලයක වැඩ බලන සභාපති ලෙස සිටි මගේ නම සඳහන් නොකර මගෙන් පසු සිටි සභාපතිවරයාගේ නම සඳහන් කරනවා.

මේ ගැන මම ඔහුගෙන් විමසුවා. දුමින්ද කීවේ බිගුන් මේනකට මා ගැන කීවත් ඔහු ටයිප් කරද්දී මගේ නම හැලිලා කියලා. පෲෆ් මිස්ටේක් එකක් කියලා. බිගුන් පිළිබදව මා හොඳින් දන්නා නිසා ඔහුගෙන් මේ ගැන විමසුවේවත් නැහැ. දුමින්ද පිළිබඳව ඇති වූ අප්‍රසන්නකම නිසා මේ පිළිබඳව කැරුණු ඊමේල් ගණුදෙනුවේ මැදිහත්කරුවෙක් වුණේ මාධ්‍යවේදී සනත් බාලසූරිය. මතකයෙන් ඈත්වෙමින් තිබූ මේ සිදුවීම යළිත් මගේ සිහියට ගෙනාවේ කසුන් පුස්සෙවෙල.

අපි ජීවතුන් අතර සිටියදී පවා ඉතා කුරිරු, පාදඩ ලෙස ඉතිහාසය විකෘති කරන්නේ ඇයි? තවමත් මොවුන්ගේ සගවාගෙන ඉන්නා සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයේ සිංහයා නිසා. එයට විරුද්ධමත දරන්නන් හැකි සෑම විටම ඉතිහාසයෙන් ඉවත් කරනවා. ඒනිසා මොවුන්ගේ මේ විකෘති කිරීම් සිතාමතාම සැලසුම් සහගත ලෙස තමයි කරන්නේ. ඒ වෙනුවෙන් ඔවුන්ට මොනවා ලැබෙනවාදැයි මා දන්නේ නැහැ.

පුස්සවෙලලාගේ පුස් සම්මන්ත්‍රණයේ කතා කරපු බොහෝ දෙනෙක් රාජපක්ෂ පාලනයේ මාධ්‍ය මර්දනයට එරෙහිව පාරේ උද්ඝෝෂණවල හිටියේ නෑ. ඒ දිනවල රාජපක්ෂ රෙජීමයේ මරණ සහතිකේ අතේ තියාගෙන සිංහල, දෙමළ මාධ්‍ය මර්දනයට විරුද්ධව පොදුවේ වීදි බැස්සේ ඉතාම සුළු පිරිසක්. අනෙක් අය තමාට හැකි පමණින් හා විශේෂයෙන්ම සිංහල මාධ්‍යට එල්ල වූ තර්ජනවලදී පමනක් උද්ඝෝෂණයන්ට සහබාගී වුණා.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනන්ද දේශප්‍රිය, සුනිල් ජයසේකර, දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ නික්සන්, මුස්ලිම් ජනමාධ්‍යවේදීන් ගේ සම්මේලනයේ අමීන්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත, මංජුල වෙඩිවර්ධන, ලේක් හවුස් මාධ්‍ය සේවක සංගමයේ ධර්මසිරි ලංකාපේලි මාධ්‍ය සංවිධාන නායකයන් විදියට හැමදාම අරගලයේ හිටියා. ඊට අමතරව අතුල විතානගේ, කසුන් යාපා, අජිත් සෙනෙවිරත්න අපි තමයි වීදියේ අරගලයේ හිටියේ.

වික්‍රමබාහු කරුණාරත්න, රණත් කුමාරසිංහ, සිරිතුංග ජයසූරිය, ජෝෂප් ස්ටාලින්, උදය කළුපතිරණ, චන්දන ජයතිස්ස ( චූටි) අපේ සටන්වලට ශක්තිය දීපු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නායකයන් අතරින් කිහිප දෙනෙක්.

පුස්සෙවෙල කියනවා 1982 සිට ඝාතනය කළ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන්ලු 2012 දී කළු ජනවාරිය ආරම්භ කළේ. එහෙනම් ජවිපෙ “දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරය” (DJV ) විසින් 88 – 89 මරා දැමූ මාධ්‍යවේදීන්, වේදිනියන්ගේ නම් නොකීවේ ඇයි? . පුස්සෙවෙල එම මරා දැමීම් අනුමත කරන නිසාද? තේමා පාඨ බැනරය දෙස බලමින් සභාව මෙහෙය වූ කථිකයා කීවේ ” අපි කළු ජූලිය සමරණවා” යි කියලා. ආරම්භයේදීම මෙහි විපරීත භාවය මොනවට දිස්වුණා.

මාලිමා ආණ්ඩුව ආරක්ෂා කරගැනීම තම එකම බලාපොරොත්තුව බවත් රනිල්, රාජපක්ෂලාගේ ආණ්ඩුවකට විරුද්ධ බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්යතුමා මේ සැමරුමේදී ඝෘජුව ප්‍රකාශ කළා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීමේ නඩුවේ 9 වැනි විත්තිකරු තමයි ලුතිනන් කර්නල් එරන්ත රදීෂ් පීරිස්. ඔහු ඇතුළු තවත් සිව් දෙනෙක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් මේ සම්මන්ත්‍රණයදා උදේ බ්‍රිගේඩියර් තනතුරට උසස් කරළා. මේ ගැනත් සඳහන් කරමින් සමහර දේශකයන් නාහෙන් ඇඩුවා.

“උසස්වීම් ලැයිස්තුවේ මේ නම (නිර්මාල් කීවේ සැකකරුවෙක් කියලා) තිබුණාම ඒකට අත්සන් කරන්න වෙනවා. ඒක නොකර බැහැ” යි කියලා බ්‍රිගේඩියර් තනතුරට උසස් කිරීම මහාචාර්යතුමා අනුමත කළා. එවගේම මියගිය මාධ්‍යවේදීන්ට (නිර්මාල්ට අනුව ඝාතනය කර නොමැත) වුනත් යුක්තිය ඉටු කරගැනීම සංකීර්ණ වැඩක් බවත් නිර්මාල් ප්‍රකාශ කළා.

එක්නැලිගොඩ අතුරුදහන් කරවීමේ නඩුවේ රැකියාව අහිමිකර සිටි පළමු විත්තිකාරයා කර්නල් ෂම්මි කුමාරරත්න. ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ඔහු රැකියාවේ පිහිටුවා ලුතිනන් තනතුරකටද උසස් කළා. එපමනක් නොවේ මාධ්‍ය මර්දකයන්ටත් දඬුවම් කළේත් නෑ. ඔබ කියනා ලෙස ජනාධිපති අනුර කුමාරගේ ක්‍රියාව යුක්ති සහගතනම් ගෝඨාභය ජනාධිපතිගේ ක්‍රියාවත් යුක්ති සහගතයි නේද මහාචාර්යතුමෝ?

මේ ප්‍රකාශයන් දෙස බලනවිට නිර්මාල් නම් ජවිපෙ ඉවර කරළා මිසක පස්ස බලන්නේ නැහැ වගේ. “2026 වසරේ කළු ජනවාරිය යනු කුමක්ද” යන්න සම්මන්ත්‍රණයේ තේමාව වුවත් කතිකයන් අදහස් දැක්වීමේදී වැඩි බරක් දැමුවේ මාළිමා ආණ්ඩුව රැක ගැනීම හා වෙනත් පක්ෂ බලයට පැමිණීම නතර කිරීම ගැන තමයි. එලෙස නතර කළයුත්තේ ඇයි ද යන්න ජේආර්ගේ සිට මහින්ද දක්වා රජයන් විසින් කළ ජනමාධ්‍ය ඝාතන පෙන්වා දුන්නා.

විදර්ශන කන්නන්ගර ඊට වඩා ටිකක් එහාට යමින් 2010 න් පස්සේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි NGO නායක, නායිකාවන්ගේ නම් කියමින් ඔවුන්ට පහර ගසමින් වේගවත් කතාවක් කළා. අද ඒ සියළු දෙනා රනිල් – රාජපක්ෂ මර්දකයන් සමග එකතුවෙලා ඉන්නවා කියලා. ඒක කතාව ඇත්ත.

නමුත් මෙලෙස චෝදනා කරන විදර්ශනලාත්, මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ අනියම් සාමාජිකයන් වුණු මර්දනයට ලක්වූ ඇතැම් මාධ්‍යවේදීනුත් රනිල් – රාජපක්ෂලාට විරුද්ධව අද පෙළ ගැහිලා ඉන්නේ කවුරුන් එක්කද? රාජපක්ෂ මාධ්‍ය මර්දනයේ කොටස්කාර පක්ෂයක් වුණු ජවිපෙ එක්ක. ඒනිසා විදර්ශනගේ බරසාර වචන පුස්වෙඩි බවට පත්වෙනවා. මේ කඳවුරු දෙකටම නැති එහෙත් තමන්ගේ මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් නිහඬව කටයුතු කරන මාධ්‍ය පිරිසකුත් ලොව පුරා විසිරී ඉන්නවා. ඒනිසා තවමත් ජනවාරිය කළුයි.

“අද ජඩ, අශ්ශීල, අසත්‍ය තොරතුරු වපුරන ජඩ මාධ්‍යයන් බිහිවෙලා. මේවා නියාමනය කරන්න ඕන” යි අවසාන වශයෙන් විදර්ශන කන්නන්ගර මහ හඬින් කියා සිටියා. විදර්ශන ඇතුළු මේ චෝදනාව කරන සියළු මාධ්‍යාරක්ෂක බලකායන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. චන්ද්‍රිකා – ජවිපෙ 2004 ආණ්ඩුවේ සිට වර්ග සංහාර යුද්ධය අවසන් කළ 2009 වසර දක්වා වූ කාලයේ රාජ්‍ය මාධ්‍ය භාවිතාව පමනක් පරිශීලනය කරන්න කියලා. සුධර්මන් රදලියගොඩ නැමැත්තාගේ පාලනය යටතේ තිබූ “ස්වාධීන රූපවාහිනියේ” විකාශය වූ මහින්ද අබේසුන්දරනම් වූ රාජපක්ෂලාගේ වහලාගේ ” විමසුම” කියන වැඩ සටහන අහන්න කියලා.

ඉහත අවුරුදු පහ තුළ පමනක් පළ වූ ජවිපෙ නිල පුවත්පතවන “ලංකා” පුවත්පත සොයාගෙන කියවන්න කියලා. ජාත්‍යන්තර කීර්තියට පත් ධ‍ර්මරත්නම් සිවරාම් ජනමාධ්‍යවේදියා 2005 වසරේ කොළඹදී පැහැර ගෙන ගොස් ඝාතනය කළා. රෝහිත භාෂන පැමිණෙන තෙක් සිවරාම් බම්බලපිටියේ රැඳී සිටියේ ඊට පසුදින කොළඹ නගරයේ බෝම්බ පිපිරවීමට සැළසුම් කිරීමට කියලා තමයි ලංකා පත්තරේ කතුවැකිය ලිව්වේ. ඔහු ත්‍රස්තවාදියෙක් නිසා පැහැර ගෙන ගොස් මරා දැමීම යුක්ති සහගත කළා.

අබේසුන්දර වහලාගේ විමසුම නිසාත්, ජවිපෙ – රාජපක්ෂ ජාතිවාදී, යුදවාදී ප්‍රකාශයන් නිසාත් බොහෝ දෙනෙක් රටින් පිටුවහල් වුණා. පෝද්දලගේ වගේ අත්පා කඩලා සදාකාලික ආබාධීතයන් බවට පත්වුණා. ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සේවකයන් 47ක් රාජපක්‍ෂ – ජවිපෙ යුද කාලය තුළ මරාදැම්මා. 45 දෙනෙක්ට පහරදීම් කරළා තිබෙනවා. අත් අඩංගුවට ගැනීම් 20 ක්. අවස්ථා 9 කදී මාධ්‍ය ආයතන ගිනි තැබීම්, ක්ලේමෝ හෝ වෙඩි ප්‍රහාරයන්ට ලක්වෙලා තිබෙනවා. මෙම අවස්ථා නවයට අමතරව යාපනයේ උදයන් පුවත්පතට විතරක් 30 වතාවකදී ගිනි තැබීම්, ග්‍රෙනේඩ් ප්‍රහාරයන්, වෙඩි තැබීම් කරළා තිබෙනවා.

ඝාතනය කළ 47 දෙනාගෙන් බහුතරයක් දෙමළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්. එවගේම 2006 – 2007 කාලය තුළ දී තමයි වැඩිම මරා දැමීම් වාර්තා වෙන්නේ. ඒ නිසා ජනමාධ්‍ය ජඩ මාධ්‍ය වුණේත්, ළෙවකන හා ගුටිකන මාධ්‍ය සංස්කෘතිය යුක්ති සහගත කළේත් රාජපක්ෂ – ජවිපෙ වර්ග සංහාර යුද්ධය කාලේ. මේවා කතා නොකරන කළු ජනවාරියක් තිබෙන්න බෑ. ජවිපෙ – මාළිමා ආණ්ඩුවට සුදුහුණු ගාමින්, ජනමාධ්‍යයට යුක්තිය ලබා ගන්න සිතනවානම් සොරි ඩොට්කොම් කියලා තමයි කියන්න තියෙන්නේ.

“මහින්ද රාජපක්ෂ බල්ලො නාවන්න වගේ යුද්ධයට ඇදගෙන ගියේ අපි” යි කියලා අදත් ඇමති ලාල්කාන්ත ඇතුළු ජවිපෙ නායකයන් උදම් අනන්නේ බොහොම ජයග්‍රාහී විලාශයෙන්. ඒනිසා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මරා දැමීම්, පහර දීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම්, ආයතන විනාස කිරීම්වලට රාජපක්ෂලා විතරක් නෙමේ ජවිපෙ නායකකාරකාදීනුත් සමෝ සමේ වග කියන්න ඕන. යුද්ධයට විරුද්ධ වූවන් දේශ ද්‍රෝහීන්, කොටින්ට කඩේ යන උන්, ඩොලර් කාක්කො ලෙසින් හණ ගහලා, සමාජ වෛරයට පාත්‍ර කරළා මුළු දකුණේ යුද මනෝභාවයක් ඇති කළේ ජවිපෙ.

රාජපක්ෂලා – ජවිපෙ මාධ්‍ය ක්ෂේත්‍රයට කරපු මේ අපරාධ අමතක නොවන්න සිහිවටනයක් ලෙස තමයි කළු ජනවාරිය උපදින්නේ. මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් සුනිල් ජයසේකර, නික්සන්, අමීන්, ලංකාපේලි හා මේ ලියුම්කරු තමයි සාකච්ඡාවට සහභාගී වුණේ. ලක්ෂ්මන් ගුණසේකර එම සාකච්ඡාවේ සිටියාද නැද්ද කියලා හරි හමන් මතකයක් නැහැ. කළු ජූලිය උදාහරණයට ගනිමින් අපිත් එක් මාසයක් කළු මාසයක් බවට පත් කරමු කියලා මම යෝජනාවක් කළා. දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ වැඩි දෙනෙක්ගේ අදහස වුණේ ජනවාරි මාසය කළු කරමු කියලා.

එහෙම තමයි කළු ජනවාරිය (Black January) බිහිවුණේ. නැතිව පුස්සෙවෙල කියන්නා වාගේ ජනවාරි මාසයේ කර ඇති මාධ්‍ය මරා දැමීම් සිහිකරන්න විතරක් නෙමේ. පුස්සෙවෙලලා ඒ කාලයේ තමන්ගේ පත්තරවලවත් මේවා දැම්මේ නැහැ.

පළමු විරෝධතා උද්ඝෝෂණය අපි තීන්දු කළා කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දුම්රියපොල දක්වා පා ගමනක් ගිහින් රැස්වීමක් කරන්න. සියළු කටවුට්, පෝස්ටර් සංවිධාන වැඩ කළේ නසසප මූලස්තානය වූ කොම්පඤ්ඤවීදියේ 17 බැරක්ක පටුමග කාර්යාලයේ. විරෝධතා දිනයේ සවස 2 පමන වනවිට මාධ්‍යවේදීන්ගෙන් අපට දුරකථන ඇමතුම් ගණනාවක් ආවා.

“මචං උඹලා එන්න එපා. මහින්ද කහඳගම 40 ක 50 ක පමන පිරිසක් එක්ක දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂනයක් කරනවා. පොලිස් ආරක්ෂාවත් දීලා තියෙන්නේ” යි කියලා. මමත් සුනිල් ජයසේකරත් ඔහුගේ යතුරු පැදියේ නැගී කොටුවට ගිහින් ඇත්ත නැත්ත සොයා බැලුවා. රීප්පපටිවල, පොලුවල තමයි මහින්දලා පිකට් බෝඩ් හයිකරලා තිබුණේ. 17 කාර්යාලයට ඇවිත් අපි මේ ගැන වාර්තා කළා. මහින්ද කහඳගම වාසුදේවගේ පක්ෂයේ සාමාජිකයෙක්. නසසපයේ ලීනස් ජයතිලක වාසුට කතා කරලා කිව්වා කහඳගමව ගෙන්න ගන්න කියලා. මාධ්‍යවේදීන්ට අරියාදු කරන එක නවත්වන්න කියලා.

“මේවා ටෙලිෆෝන් එකෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න නෙමේ. මේවා විසදා ගන්න ඕන මහ පාරෙදිම තමයි” කියලා අපි කොටුවට යන්න කාර්යාලයෙන් එළියට බැස්සා. ලීනස් මග අවුරමින් සුනිල් ජයසේකරව පැත්තකට අරගෙන දේශනාවක් කළා. ලීනස්ගේ යෝජනාවට එකගවෙමින් ඇස් වාට්ටුවේ ලිප්ටන් වටරවුමේ පිකට් කරළා, රැස්වීමක් තියලා අපි විසිර ගියා. පුස්සෙවෙල මහත්තයෝ, අන්න එහෙම තමයි පළමු කළු ජනවාරිය ආරම්භ වුණේ. ඒනිසා අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න යන්න එපා. ඒක ආචාර ධාර්මික නෑ. කැතයි. නින්දිතයි.

රාජපක්‍ෂ පාලනය විසින් නීතියට පිටින් පවත්වා ගෙනගිය (පැරා මිලිටරි) ආරක්ෂක අංශ ඝාතක කල්ලි සහ බුද්ධි අංශ ජාලය විනාශ කිරීම ජවිපෙ නායක අනුර කුමාර ජනාධිපතිවෙන්නට පෙර පොරොන්දු වුණේ. නමුත් වසරක් ඉක්ම යද්දීත් එකී ජාලය විනාස නොකළේ ඇයි? ඒ වෙනුවට ඒ ජාලයේ චූදිතයන්ට උසස්වීම් දෙන්න, ඒ ජාලය තවදුරටත් පවත්වාගෙන යන්න අනුර කුමාර ජනාධිපති කටයුතු කරන්නේ ඇයි කියලා මහාචාර්ය තුමා හෝ කළු ජනවාරිය (Black January) අපහරණය කළ කිසිම කථිකයෙක් පහදා දුන්නේ නෑ. ඒගැන හොටු පෙරුවා විතරයි. ඒක තමයි සැබෑ තක්කඩිකම.

යුද්ධයට විරුද්ධව ලියන්න, කියන්න මතවාද ජනගත කරන්න ඉඩ දීගෙන යුද්ධයක් ජය ගන්න බෑ. “යුද්ධයකදී පළමුව නැතිවන්නේ සත්‍යය” කියලා කියනවා. ඒනිසා යුද විරෝධින් නිහඬ කරවීම හා එම ආයථන විනාශ කිරීම යුදවාදීන් කරන්නම ඕන. ඒවා නීත්‍යානුකූලව කරන්න ගියොත් නඩුහබවල පැටලෙනවා. කල් යනවා. එනිසා තමයි නීතියට පිටින් ආරක්ෂක අංශ ඝාතක කල්ලි සහ බුද්ධි අංශ ජාල හදන්නේ. ඒවා දිරි ගන්වපු, අනුමත කරපු ජවිපෙ තමයි අද රටේ පාලන බලය හොබවන්නේ. ඉතිං තමන්ගේ උවමනාවන් ඉටුකළ ආරක්ෂක අංශයන්ට උසස්වීම් නොදී දඬුවම් කරන්න ජවිපෙ ජනාධිපතිට පිස්සු නෑ.

බංකර් කපලා, ලේ දන්දීලා,”රණ විරුවන්” කියා ගොණාට අන්දවලා තමයි ආරක්ෂක අංශ අපරාධකාරී වැඩවලට යොදවා ගත්තේ. ඒ අපරාධකාරී රාජ්‍ය යන්ත්‍රය තමයි මාළිමා ආණ්ඩුවත් ආරක්ෂා කරන්නේ. තමන්ගේ ආරක්ෂකයන්ට දඬුවම් කරන්න ගියොත් ආණ්ඩු ආරක්ෂා කරන්නේ කවුද? ධනපතියන් රාජ්‍ය නිර්මාණය කළත් මෙතෙක් රට පාලනය කළ ඔවුන් පවා නොගෙනා “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පණත” තමයි “නිර්ප්‍රභූන්” ගෙනෙන්නේ. (ඒ හැඳින්වීමට මොකද වුණේ) “හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ” යි කිව්වලු.

එමනිසා මාළිමා ආණ්ඩුව නෙමේ යුද අපරාධ සිදුවුණා කියලා පිළිගන්නේ නැති පක්ෂයක කිසිදු ආණ්ඩුවක් යුද්ධය සමග ගැට ගැසුණු අපරාධකරුවන්ට දඬුවම් කරන්නේ නෑ. දඩුවම් ලැබෙනවා නම් අධිකරණයකින් තමයි. එයත් සිදුවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට ආණ්ඩු දෙන උපදෙස් හා එහි නිලධාරීන්ගේ රුචි අරුචිකම් මත.

ජේසුතුමන් කිව්වේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් සීසර්ගේ දේ සීසර්ට දෙන්න කියලා. එමනිසා ජන බලය සාමූහිකය හෝ වෙනත් කිසිවෙක් කළු ජනවාරිය එක් එක් පක්ෂවල වලිගයක් කරන්න එපා. එය බිහි වූ දේශපාලන සංධර්භයක්, අරමුණක් තිබෙනවා. එයින් එළියට ගෙන අපහරණය කරන්න, දූෂණය කරන්න එපා. කසුන් පුස්සෙවෙලටත්, මාලිමාවේ අඩයක් වුණු ජන බලය සාමූහිකයටත් පුළුවන් කළු ජනවාරිය වෙනුවට “රෝස ජනවාරිය” හෝ වෙනත් ඕනෑම නමක් දාගන්න. අපි ගොඩනැගූ දේ අපට තබන්න.

ආණ්ඩුවක් ගෙනියන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති නොසළකා තමන්ගේ ෆැන්ටසි ආණ්ඩු ලවා කරවා ගන්න උත්සාහ කරන මරිමෝඩයන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. මුවෙක් පසු පස එළවලා වලක වැටුණු රජා කිව්ව කත්නෝරුවේ සිරිධම්ම භික්ෂුව සමාජගත කළ පනිවුඩය.

“අචින්ති තම්පි භවතී, චින්ති තම්පි විනස්සති.”

~ ඥානසිරි කොත්තිගොඩ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...