ඇඩොල්ෆ් විසිනි
හිටපු ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් වූ නඩුකරයයක් එළඹෙන ජනවාරි 28 වන දින යළි විභාගයට ගැනීමට නියමිතව ඇත. ඒ, ඔහුගේ ධුර කාලය තුළ එක්සත් රාජධානියේ සිදුකළ නිල සංචාරයක් අතරතුර දැරූ වියදම් සම්බන්ධයෙනි. මේ සම්බන්ධ නොවිසඳුණු ගැටළු මහජන අවධානය දිනා ගනිමින් සිටින බව අමුතුවෙන් පැවසිය යුතු නැත. මෙම ගැටළු පුද්ගලයන් ඉලක්කකරගත් ගැටළු නොවේ; ඒවා වගවීම, මූල්‍ය යෝග්‍යතාවය සහ රජයේ අඛණ්ඩතාව පිළිබඳ ගැටළු ය.
වියදම්
හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව එක්සත් රාජධානියේ එක් දිනක් නතර වූ මොහොතේ වැයවූයේ යැයි කියන පවුම් 33,000 ත් 35,000 ත් අතර (ආසන්න වශයෙන් රුපියල් මිලියන 16 ක්) වියදම් පිළිබඳව මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හටගෙන ඇත. හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳට ආචාර්ය උපාධියක් පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක් විසින් කළ කැඳවීමක් ද මීට ඇතුළත් විය.
එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය
පවතින වාර්තාවලට අනුව, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ, පෞද්ගලික ලේකම්වරයකු, වෛද්‍ය නිලධාරියකු, ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍ය නිලධාරියකු සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා පවුම් 35,000 ක පමණ මුදලක් අයදුම් කර ඇත. කෙසේවෙතත්, ලේඛනවල සඳහන් වන අන්දමට, වියදම්කර තිබෙන්නේ පවුම් 18,000 ක මුදලක් පමණක්වන අතර, තවමත් පැහැදිලිකර නොමැති පවුම් 17,000 ක පමණ විෂමතාවයක් ඉතිරි ව ඇත. මේ අතර, පුදුමය දනවන සුළු තනි තනි වියදම් කිහිපයක් ද පවතී. එක්සත් රාජධානියේ ඉහළ පෙළේ වාහනයක දෛනික කුලී පිරිවැය පවුම් 250 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබියදීත්, වාහන දෙකක් කුලියට ගැනීම සඳහා පවුම් 10,000 කට ආසන්න මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. ඊට අමතරව, VIP විවේකාගාරයකට ඇතුළත් වීම සඳහා පවුම් 5,000 ක පමණ මුදලක් ගෙවා ඇති බව වාර්තාවන අතර, හෝටල් නවාතැන් පිරිවැයවල එක් රාත්‍රියක් සඳහා පවුම් 3,000 ක පමණ මුදලක් වැයකර ඇති බව කියනු ලැබේ.
මෙම දත්ත ස්වභාවිකව ම නීත්‍යානුකූල ප්‍රශ්න මතුකරයි. ප්‍රවාහනය සඳහා මෙතරම් විශාල මුදලක් වැය කළේ ඇයි? අයදුම්කර සිටින අරමුදල් සහ වියදම්කර ඇති අරමුදල් අතර දක්නට ලැබෙන පරතරය නිල වශයෙන් ලේඛනගත කර ඇත්තේ කේසේද යන්න බරපතල ම ගැටළුවයි.
ඉතිරි මුදල බෙදාගත්තා ද?
ප්‍රකාශ නොකළ මුදල්
ආයතනික මට්ටමින් සිදුකර තිබෙන පසුවිපරම් සම්බන්ධයෙන් පැණනඟින ගැටළු ද ඒ හා සමානව අර්බුදකාරී ය. අරමුදල් අවභාවිතය පිළිබඳ ගොනුවක් එවකට ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බවටත්, නමුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන් ගෙන නොමැති බවටත් චෝදනා එල්ල වී ඇත. තව ද, එවකට සිටි විදේශ ලේකම්වරයා විසින් විගණන නිරීක්ෂණ නොසලකා හැර ඇති බවට වාර්තා වන්නේ මන්ද යන්න පිළිබඳව ද අවධානය යොමු වී ඇත. විගණන සොයාගැනීම්වලින් අක්‍රමිකතා සිදුව ඇති බවට තහවුරු වූයේ නම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පුද්ගල සංචාරයක් හෝ රාජ්‍ය නායකයකුගෙන් ඔබ්බට යන බරපතල පරිපාලන අඩුපාඩුවකි. මෙසේ සඳහන් කරන ලද්දේ චෝදනා සහ නොවිසඳුණු ගැටළු ලෙස පවතින කරුණු මිස අධිකරණ සොයාගැනීම් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කිරීම වැදගත් ය. හිටපු ජනාධිපතිවරයා, අදාළ නිලධාරීන් සහ ආයතන මීට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගයට යටත් ය. කෙසේවෙතත්, එම ක්‍රියාමාර්ගය විනිවිදභාවයට බාධාවක් නොවිය යුතු ය. ඒ වෙනුවට, මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා කාලෝචිත සහ විශ්වාසදායක පැහැදිලි කිරීම් අත්‍යාවශ්‍ය වී ඇත. සිදුවීම මහජන මුදල් භාවිතය හා සම්බන්ධවන නිසා මෙය වඩාත් වැදගත් වේ.
මීළඟ නඩු දිනය පැමිණෙන විට, මෙම ගැටළු විවෘතව සහ පුළුල් ලෙස ආමන්ත්‍රණය කිරීම බරපතල අවශ්‍යතාවයක් වී ඇත. එසේ කිරීමෙන් විමර්ශනයට ලක්වන වියදම් නිශ්චිත ව පැහැදිලි වනවා පමණක් නොව, කොපමණ ඉහළ මට්ටමක පැවතිය ද කිසිඳු රජයේ ආයතනයක් මූල්‍ය වගවීමෙන් නිදහස් නොවන බවට වූ පුළුල් මූලධර්මය නැවත තහවුරු කරනු ඇත. රාජ්‍ය පාලනය සහ රජයේ ආයතන කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමට අරගල කරන රටක, නිහඬතාවයෙන් හෝ අපැහැදිලි බවින් කිසිවකුට ඵලක් නොමැති බව සිහිපත්කළ යුතු ය. ඉහත ගැටළු සඳහා ජනවාරි 28 වන දින ට පෙර පැහැදිලි පිළිතුරු සැපයීමට හැකිවන්නේ නම්, එය යුක්තිය සහ මහජනතාවගේ අභිලාෂයන් යන දෙකටම රුකුලක්වනු ඇත.



