ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුව දුෂණයට පාර කපා ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් චෝදනා කළේය.
”රුපියලක්වත් හොරකම් කරන්නේ නැති බව ප්‍රකාශ කළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුවාව හොදින්ම දැන් පැහැදිලි වී තිබෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (29) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.
”ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට නම් පසුගිය වසර 3 තුළ ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි. එයින් ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් කිලෝ කැලරි 5900 ට හෝ ඊට වඩා ගෙන්වා තිබිය යුතුයි. ඒ වගේම එම සමාගම පසුගිය වසර තුන තුළ ඩොලර් මිලියන 150 ක ආදයමක් උපයා තිබිය යුතුයි. ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට මෙම සුදුසුකම් සපුරා තිබිය යුතුයි. කෙසේ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීම සඳහා පසුගිය වසර තුන තුළ ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන මුලික සුදුසුකම වෙනස් කර තිබෙනවා. කුඩා සමාගම්වලට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීම සඳහා එම මූලික සුදුසුකම වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දින ගණන අඩු කිරිම හරහා , මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන කොන්දේසිය ලක්ෂය දක්වා අඩු කර දුෂණයට පාර කපා තිබෙනවා.”
කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවු පාඩුව පිළිබඳව තක්සේරුවක් ගත යුතු අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු බොයිලේරුවලට දැමූ පසු බලාගාරයේ උපකරණවලට සිදුවන හානියද ගණනය කළ යුතු බව ඔහු පැවසුවේය.
එමෙන්ම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කළ පසු මොගාවොට් 300 ක් උත්පාදනය කිරිමට නොහැකි බවත් ඒ අනුව ඉතිරි විදුලි ප්‍රමාණය ඩිසල් බලාගාරවලින් සපයාගන්නවා නම් ඒ සඳහා අය වන මුදල පිළිබඳව තක්සේරුවක් කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
”ඒ වගේම මෙම ගල් අඟුරුවලින් පිට කරන අළු ප්‍රමාණය සහ එයින් පරිසරයට වන හානිය ගණනය කර තක්සේරුවක් සිදුකළ යුතුයි. නමුත් වර්තමාන බලශක්ති ඇමැතිවරයා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්විමේ මාෆියාව වෙනුවෙන් පෙනී සිටිමින්, මේ හරහා රටට සිදුවන නාස්තිය වසන් කරන්න කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 25 කුමන හෝ නැව් දෙකක් ප්‍රතික්ෂේප වුණොත් මෙම ගල් අඟුරු ගිවිසුම අවලංගු කළ යුතුයි. නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වූ සමාගමෙන් දඩ මුදලක් අය කරගන්නා බව බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව පළමු නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් නියම කළ බව ගල් අඟුරු සමාගම ප්‍රකාශ කර තිබුණා. නමුත් ගල් අඟුරු නැවට දඩු මුදල නියම කළ ආකාරය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. එම දඩ මුදල අය කරගැනිමේදී ප්‍රමිතියෙන් තොර ගල් අගුරු යෙදිමෙන් බලාගාරයේ යන්ත්‍රවලට සිදුවුණ හානිය ගණනය කර තිබෙනවාද ? ඩිසල් බලාගාරවලින් අමතරව මිලදි ගන්නා විදුලිය සඳහා වන වියදම ගණනය කර තිබෙනවාද ? මේ ප්‍රශ්නවලට ඇමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නැහැ.
ඒ වගේම ගල් අඟුරු රැගෙන තුන්වැනි නැවත් ලංකාවට පැමිණ තිබෙනවා. නමුත් වරායේ දොබකරයේ ගැටලුවක් හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑම නරත කර තිබෙනවා. එය සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න තවම පැහැදිලි නැහැ. කෙසේ නමුත් තුන්වැනි නැවේ ගල් අඟුරුවල ප්‍රමිතිය පළමු නැවේ ගල් අඟුරුවල ප්‍රමිතියටත් වඩා අඩු බව වාර්තා වෙනවා. කෙසේ හෝ තුන්වැනි ගල් අඟුරු නැවේ ගල් අඟුරු තොගය පිළිබඳ වාර්තාව ඉක්මනින් පැමිණියහොත් පළමු සහ දෙවන ගල් අඟුරු නැව්වල ගල් අඟුරු තොග ප්‍රමිතියෙන් බාල නිසා ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි කරන්න සිදුවෙනවා. ඒ නිසා තුන්වැනි ගල් අඟුරු නැවේ ගල් අඟුරු තොග ගොඩබෑම ප්‍රමාද කර දඩු මුදල ඉක්මනින් අය කර ගන්න ආණ්ඩුව කටයුතු කරනවා. කෙසේ හෝ තුන්වන ගල් අඟුරු නැවේ ගල් අගුරු තොගය ප්‍රමිතියෙන් තොර වුවහොත් කල්තියාම පළමු නැවට දඩ මුදල අයකරගෙන තිබෙන බව ප්‍රකාශ කරන්න ආණ්ඩුව හැකියාවක් තිබෙනවා. ආණ්ඩුව මේ ආකාරයට රකින්න උත්සහ කරන්නේ කවුරුන්ද? මෙම මහා පරිමාණ වංචාවට කවුද වග කියන්නේ.”
මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් දිගින් දිගටම පැමිණියහොත් එළඹෙන මාර්තු මාසයෙන් පසු විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.


