Home විදෙස් චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

0
5

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා සමග වීඩියෝ සංවාදයක් පවත්වා තිබෙනවා.

මෙම වසර චීනයේ පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර බවත් වඩාත් සක්‍රිය විවෘතභාවයක් හරහා රුසියාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් සමග සංවර්ධනයේ නව අවස්ථා බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවත් ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී සඳහන් කළා.

2026 වසරේ ආරම්භයේ සිට ජාත්‍යන්තර තත්ත්වය වඩ වඩාත් කැළඹිලි සහිත වී ඇති අතර වගකිවයුතු ප්‍රධාන රටවල් හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් ලෙස, චීනය සහ රුසියාව ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කරමින් ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීමට එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

නව වසර දෙස බලා සිටිමින් රුසියානු-චීන සබඳතාව කෙරෙහි තම රට පූර්ණ විශ්වාසයකින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර කටයුතුවලට ධනාත්මක ශක්තියක් එකතු කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල චීනය සමග උපායමාර්ගික සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටිනවා. රාජ්‍ය නායක දෙපළ පොදු ජාත්‍යන්තර සහ කලාපීය උණුසුම් ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ