නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:
පෙබරවාරි 6 සහ 7 යන දෙදින ඇමෙරිකාවේ පැවති Charlie Thomas Invitational ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ තරුශි කරුණාරත්න, කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා පැවති තරග පහක ප්‍රතිපල ඇසුරෙන් කළ අවසාන නිරීක්ෂණයට අනුව හයවන තැනට පත් වෙනවා.තරුශි මේ ඉසව්වේදී වාර්තා කරන කාලය වන විනාඩි 2:09.43 තරුශි මෙම ඉසව්ව නියෝජනය කරන ලද දිනවලම චීනයේ පැවති ආසියානු ගෘහස්ථා තරගාවලියේදී මෙම කාලය වාර්තා කරානම් ඇයටත් රටටත් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට අවස්ථාව තිබුණා.මේ සටහන සමඟ වන ඡායාරූපයේ එහි කාලය සඳහන් වන අතර රිදී පදක්කම දිනා ගත් උස්බෙකිස්තාන ක්‍රීඩිකාව වන Samijonova Sabokhat වාර්තා කර තිබෙන කාලය වන්නේ විනාඩි 2:09.58 ක් බව ඔබට දැක ගත හැකියි.
මෙහිදී පළමු තැන ලබන චීනයේ Wu Hongjiao 2025 වසරේ ආසියානු ගෘහස්ථ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවයි.එසේම සිව්වන තැන සිටින්නේ තරුශි කරුණාරත්නයි.ඒ සාක්ෂි සහිත සටහන ද මේ සටනේ ප්‍රධාන ඡායාරූපයට ඇතුළත් කර තිබෙනවා.
එහෙත් විශ්වාසවන්තව කිව හැකි කරුණ වන්නේ තරුශිට මේ තරගාවලියට සහභාගි විය හැකිදැයි යන්න මෙර බලධාරීන් කිසිවෙකු විමසා බලා හෝ නැති බවයි.ඒ මොහොත වන විට මලල ක්‍රීඩාව පාලනය කළ ක්‍රීඩා අමාත්‍යංශය ඒ විමසීම පැහැර හැරියාද යන්නත් සොයා බැලිය යුතුයි.එසේම ඇයට ලංකාවේ මූල්‍යමය අනුග්‍රහය ලබා දෙන කිසිඳු සංචිතයකින් කිසිඳු ගෙවීමක් ලැබෙන්නෙත් නැහැ.තමන්ගේ හැකියාවෙන් මඟ හොයාගෙන අතින් වියදම් කරගෙන ඇමෙරිකාවට යන අය එක්ක ලංකාවෙ අයගෙ කුමන හෝ අර්බූදයක් තිබෙනවා.අමාත්‍යංශ මට්ටමේ ඉදලා මලල ක්‍රීඩා සංගමයට එනතුරු මේ තත්ත්වය දකින්න ලැබෙනවා.
ඔලිම්පික් උළෙල නියෝජනයට යන තරුශි අසාර්ථ වුණේ ඇයි කියන කතාව ඇය නැවත හොඳම මට්ටමේ දක්ෂතාවය එළියට දාපු දවසක හෙළි කරයි.ඒ වගේම ඇයගේ පුහුණුව ද යම් තරමකට බල පාන්නට ඇති බවත් සිතෙනවා.ඒ නිසා ඇය විශ්ව විද්‍යාලය පවා වෙනස් කර නව තැනකට එන්නෙ ඇයගේ මලල ක්‍රීඩා ජීවිතය ගැන හිතලමයි.ඉදිරියෙදි නැවත යහපත් තත්ත්වයට ඒමට ඇය අපේක්ෂා කළත් ඇය තාප්තිමත් නොවන දක්ෂතාවලදිත් තරුශි ගෘහස්ථ පිටියේ දක්වන දක්ෂතාවය ආසියාවේ සිව්වන තැන රැඳෙනවා.2025 දත්තවලින් පෙන්වන මේ දක්ෂතාවය ගැන මේ සටහනට අදාළ ප්‍රධාන ඡායාරූපයේ දක්වා තිබෙනවා.
මේ ගැන තර්ක කළ යුතු නිවැරදි මානය හැදෙන්නේ එතැන සිටයි.තරුශි විදේශිය පුහුණු උපදෙස් මත වැඩ කරමින් සිටින විට එම පුහුණු උපදේශයන්ට අවශ්‍යය පරිදි තමන්ගේ උපරිමයට එන තෙක් ඉවසිය යුතුයි.ඒ නිසා ඇය ඇතැම් තරගාවලි අත හැර දමනවා.ඒ පුහුණුකරුගේ පුහුණු සැළසුම්වලට යටත්වයි.මුලින් කී ආකාරයට ඇය උපරිමයේ නැති බවත් ඇත්ත.එහෙත් ආසියාවේ සිව්වන තැනට සිටින ඇය අමාත්‍යවරයාගේ ඔලිම්පික් සංචිතයට නුසුදුසු ඇයි.එසේත් නැත්නම් වෙනත් දිමනාවක් ලබන සංචිතයකට හෝ ඇය නුසුදුසු ද?
තරුශි රට වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියට යන්නට කෙතරම් වද වින්දාද?ඒ ගමන නවත්වන්ට ඉහළින්ම කෙතරම් බාධක ආවාද?ඊට හේතුව තරුශිම නොවිය හැකියි.සුපිරි පුහුණුකරුවන්ගේ නාම ලේඛණයේ රැඳෙන අය නොවීම නිසා ද ඇතැම් විට මේ ප්‍රතික්ෂේපවීම් සිදු විය හැකියි.වත්මන් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නට සහ සිය පුහුණුකරුවාට එකල ලැබුණු අඩු සැළකිලි ගැන එකල සිටි ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කරන්නට කටයුතු කළ මාධ්‍යවේදීන් නොවන්නට සුගත්ලාට සෙසු ක්‍රීඩක ක්‍රීිඩිකාවන්ට ලැබුණු කිසි දෙයක් නොලැබී යන්නට තිබුණා.ක්‍රීඩා අමාත්‍යවරයාද තමන්ගේ සමීපතමයන් පවා නොතකා සුගත්ලාට සාධාරණය ඉටු කරන්නට එකඟ වූ හැටිද මෙහිදී සිහිපත් කිරීම වටිනවා.
ඉන් අනතුරුව ඇමෙරිකාවට යන තරුශි ශ්‍රී ලංකාවේ තරගවලට සහභාගි නොවීම ගැන යම් කිසි ආකාරයක සංවිධානාත්මක මෙහෙයුමකින් තරුශිව අවමානයට ලක් කර ජනතාව අතර යම් මතයක් හදන්නට උත්සාහ කළා.හැඟීම්බර සමාජ මාධ්‍ය ඇතුළේ තරුශිට එරෙහිව මතයක් යම් තරමකට නිර්මාණය කරන්නටද කටයුතු කළා.ඒ හරහා සමාජය විසින් ඇති කළ විරෝධය මත පදනම්ව අමාත්‍යවරයාගේ ද අවධානය වෙනතකට හරවමින් තරුශිට ගෘහ්ස්ත තරගාවලිය ගැන සිහිපත් කිරීම අත හැරීම වගේම ඇයට අනුග්‍රහයක් ලබා දෙන රජයේ වැඩ පිළිවෙලින් ඇයව ඉවත් කර තැබීමට පියවර ගෙන තිබෙනවා.
තරුශි ඉවරයි හෝ ඇති බව කියන්නට උත්සාහ ගන්නා පිරිස ඇය ශ්‍රී ලංකාවේ තරග බිමෙන් හකුළා දැමීමට ක්‍රීඩාවේ බලධාරීත්වයේ ආශිර්වාදය නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ වන විටත් යම්කිසි ආකාරයකින් ගෙන තිබෙන බව පැහැදිළියි.සමහර විට තමන්ව ඉක්මවා යන ක්‍රීඩිකාවන් පොළවේ නිර්මාණය වනවාට අකමැති අය සිටිනවා ද විය හැකියි.තමන්ගේ දරු අයිතිය පවා ප්‍රශ්නකාරී තැනෙකට කල්ලු වෙන විදිහට සිද්ධ කර ගත් අය අනාගත පරපුර වෙනුවෙන් වගකීම් දරණ මොහොතක තරුශිගේ ආලෝකය මේ පොළව මත වැටීමට එරෙහිව බොහෝ දේ සිඳුවිය හැකියි.ක්‍රීඩා අමාත්‍යවරයා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් සාක්ෂි සහිත ලේඛණයක්වත් මාධ්‍යයේ පළ වූ විට විශ්වාස නොකරන තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යවරයා තරුශි වෙනුවෙන් මැදිහත් වේද යන්න සැක සහිතයි.
ජාතික වාර්තාව සතුව සිටින සහ ඔලිම්පික් තරගය නියෝජනය කළ සහ ආසියානු ර්‍කීඩා උළෙලේ වත්මන් මීටර් 800 සූරිය ද වන තරුශි සම්බන්ධයෙන් අප කියන කතා බොරු බව සිතන්නේනම්.අමාත්‍යවරයාට ඇත්තේ ඉහත ඡායාරූපයේ ඇති තොරතුරු පිළිබද පරීක්ෂාවක් කිරීමයි.
සමහර විට ක්‍රිඩා අමාත්‍යවරයානම් ඔහුම ලියූ පුවත්පතකවත් ක්‍රීඩා පිටුවට වැඩි අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැති අයෙකු බැවින් ඔහු අමාත්‍ය ධූරයට ඒමට පෙර රටම අවදි කළ සහ පුදුම කළ තරුශිගේ ආසියානු ජයග්‍රහණ ගැන නොදන්නවා විය හැකි නොවුණත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ තරුශි අනුග්‍රාහක නාම ලේඛණයන් හී නැත්තේ ඇයි ද යන්න විමසා බැලිය යුතුව ඇත.පසුගිය කාලයේ ඇය යම් බසුබෑමක් පෙන්නුම් කළ ද තවමත් 22 හැවිරිදි ඇයට ඇති කාලය සහ දක්ෂතාවය ගැන අවබෝධයක් ඇතුව ඇයට නැවත දක්ෂතා අතරට ඒමට මාර්ගය සැකසීම ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීම සහ යුතුකම ද වේ.ඒ වෙනුවෙන් අනුගාහක දිරිය ලබා දීම ද ඇමෙරිකාව වැනි රටක අධික වියදම් සමඟ ක්‍රීඩා ජිවිතය ගැට ගසා ගන්නා ඇයට ලබා දිය යුතු සහයක් ද වන්නේය.
එසේම තරුශි මේ සටහනට අදාළව මීටර් 800 නිමා කරද්දී මීටර් 200න් 200ට තරගය නිමා කරන්නට ගත් කාලය ද දක්වා ඇත.එහිදී ඇය පළමු මීටර් 200 සහ දෙවන මීටර් 200 තත්පර 32.26 දී කිමා කර ඇති අතර ඇය වේගයෙන්ම ධාවනය කර ඇති මීටර් 200 වන්නේ මීටර් 400 සිට 600 දක්වා වන මීටර් 200 වන අතර එම දුර තත්පර 31.26 දී ධාවනය කර ඇත.තරුශි පසුබෑම පෙන්වන්නේ අවසන මීටර් 200 දී වන අතර ඇය එම දුර දිවීමට තත්පර 33.25 ක් ගත කර ඇත.සමහර විට ඇය පුහුණුවේදී එම මීටර් 200 නොසළකා හරිනවා විය හැකිය.එසේනම් පුහුණුවේ සිටම එම තත්ත්වය වර්ධනය කර ගැනීමට ඇය කල්පනාතාරී වීම වැදගත් වනු ඇත.
පුහුණුවේදී ද ඇය සෑම මිටරයක්ම තරගකාරි බව සිතන හැඟීමෙන්ම මනසින් මවා ගන්නා ප්‍රතිවාදියෙකු සමඟ ධාවනය කරන්නේනම් මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.ඒ වෙනසට ශක්තියක් වන්නට මග හැරුණු තරුශිව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම දත්තවලින් හෝ මුණ ගැසෙන්නට තීරණය කරන්නේනම් ඇයගේ දෙපයට මනසට වැටී ඇති ආර්ථික විලංගුවලින් ද ඇයගේ වේගය මුදා දිය හැකිය.
මේ සියල්ල අතරේ ඇය ආසියානු ගෘහස්ත සූරතාවයට කතා කරානම් නො‘එනු ඇති බව කියන අහම්බකාරක නිලධාරීන්ගේ අදහස්වලින් අමාත්‍යවරයා නිදහස් විය යුතුය.එන එක හෝ නොඑන එක ඇයගෙන් විමසා දැන නොගත්තේ මන්ද යන්න ඔබ යටතේ සිටින නිලධාරීන් පැහැදිළි කර කිව යුතුය.ඇය ඉකුත් වසරේ ආසියාවේ ගෘහස්ත මීටර් 800 ඉසව්වේ සිව්වැන්නවා සිටියදී ද ඇයව නොවිමසුවේ මන්ද සහ ඇයට කිසිඳු සංචිතයකින් මුදල් ලබා දෙන්නට යෝජනා නොවුණේ මන්ද යන්නත් බලධාරීන්ගෙන් විමසා සිටිය යුතුය.




