Home art ඔබ රුව ජායා.. සැඟ වේ පායා..!

ඔබ රුව ජායා.. සැඟ වේ පායා..!

0
3

සටහන: සශිකලා මධුෂාණි

සිංහල සිනමාවේ ජනකාන්ත අසාමාන්‍ය සිනමා පෞර්ෂය විජය කුමාරතුංගයන්ගේ 38වන ගුණ සමරුව ඊයේ(16) දිනට යෙදී තිබේ. මේ කෙටි සටහන එතුමන්ගේ කලා ජීවිතය හා දේශපාලනික භාවිතාව වෙනුවෙන් කරන ලද කෙටි මතකාවර්ජනයකි.

සිංහල සිනමාවේ ජනප්‍රියතම සිනමා නළුවකු, ගායකයෙකු මෙන්ම පක්ෂ දේශපාලනය තුළ ක්‍රියාකාරී නායකයෙකු වූ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග හෙවත් විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින උපත ලැබීය.

සරසවිය පුවත්පතෙහි පළ කරන ලද දැන්වීමකට අනුව සිනමාවට අවතීර්ණ වන විජය 70-80 දශකයේ සිනමාවේ ගමන් මඟ වෙනත් දිශාවකට යොමු කිරීමට සමත් විය. ඔහුගේ රූපය සහ හඬ කෙරේ මිනිසුන් ආශක්ත වෙමින් ඔහුව දැක ගැනීමට සිනමාහල්වටා රසිකයන් පෙළ ගැසෙන්නට විට එතරම්ම ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමේ ශක්‍යතාවයක් විජය සතු විය. ඔහු එකල යෞවනයේ සිහින කුමරා විය.

1967 වසරේ ‘මනමාලයෝ’ චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිශ්ට වු විජය මුලින්ම ප්‍රධාන චරිතයකට පණ පොවනු ලැබුවේ 1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ නම් සිනමා නිර්මාණයෙනි.

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට දිවෙන විජයගේ කලා ජීවිතය තුළ ඔහු දායක වන ලද චිත්‍රපට සංඛ්‍යාව 120ක් පමණ වේ. ඉන් 114කම ඔහු ප්‍රධාන නළුවා වශයෙන් සිය රංගනයෙන් දායක විය. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර නොමකෙන සිහිවටන වේ.

විජය දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ වාර්තාවක්ද තබමින් සරසවියේ ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස ‘කැඩපතක ඡායා ‘හි ඔහුගේ රංගනයට සම්මානය හිමි විය.

සිනමා නළුවෙකු වශයෙන් පමණක් නොව විජය ගායකයෙකු වශයෙන්ද ප්‍රතිභා සම්පන්න විය. ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද (ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) නිකුත් කර ඇත.

විජය දෙවතාවක් “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට ගායනා කරන ලද “වළාකුළක් ගෙන මුවා කරමු හිරු” හා “දොළොස් මහේ පහන” චිතපටයට ගැයුන “සාරා ගුවන විද නැගුන” යන ගීත වෙනුවෙන් සරසවිය හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානයෙන් ඔහු ඇගයීමට ලක් විය.

1978 වසරේ පෙබරවාරි මස දී විජය කුමාරතුංග මෙරට කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකු වූ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක යුවලගේ කණිටු දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනෙවිය සමග, කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් නිවෙසේ දී විවාහ ගිවිසගත්තේ ය.

විජය හා ඔහුගේ දේශපාලනික භාවිතාව

විජය ලංකාවේ දේශපාලන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, මානව හිතවාදී පාලනයක් බිහි කිරීමේ දිශාවට රට රැගෙන යාමට සිටි අනාගත ජනාධිපතිවරයා යැයි කීම උත්කර්ෂයක් නොවනු ඇත.

ඔහු 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී ඡන්ද 19738ක් ලබා ගත්තේය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් මැදිහත් විය. මැතිවරණයයෙන් පසුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 බන්ධනාගාරගත කළ විජය 1983 ජනවාරි 18 දින කිසිදු චෝදනාවක් ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන් නිදහස් කරන ලදි.

ඉන් අනතුරුව ඔහු 1983 අතුරු මැතිවරණයේදී මහර ආසනයෙන් මනාප 24899ක් ලබා ගැනීමට සමත් වූ ඔහු 1984 අතුරු මැතිවරණයේදී මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගනු ලැබිය.

විජය සැබැවින්ම ලිබරල් දේශපාලඥයෙකු විය. ආගමික හා ජාතික බෙදීම් නිදහස් නිවහල් රටකට නොගැලපෙන බව හෙතෙම පිළිගත්තේ ය. එවකට විජය ලිබරල් අන්තයේ හිඳිමින් උතුරේ වර්ධනය වෙමින් පැවැති සන්නද්ධ අරගලය සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට යා යුතු බවත් බලය බෙදීමකින් මෙය විසඳිය යුතු බවත් තරයේ විශ්වාස කළේය. යුද්ධය විසඳුමක් නොවන බවත් ඉන් ගැටුම් සමනය වනවාට වඩා උත්සන්න වන බව විශ්වාස කළේය. ඔහු 1986දී විජය කුමාරතුංග ‘එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනතාව හමුවීමෙන් පසු එල්.ටී.ටී.ඊ. තරුණ නායකයින් හමු විය.

ඒ වන විට රටේ පැවැති තත්වය හා විජයගේ පැවැති ජනප්‍රියතාවත් හේතුවෙන් ඔහු නැවැත්වීමට කිසිවකුට හැකියාවක් නොවීය. එවන් ආකර්ෂණීය නායකයෙකු මෙලෙස ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීමේ විසඳුමකට එරෙහි දේශපාලන කණ්ඩායම්වල දැඩි කෝපයට හා වෛරයට ද හේතුවක් විය.

1988 වන විට පැහැදිලිවම රට තුළ ආණ්ඩු දෙකක් විය. එනම් එක්සත් ජාතික පක්ෂයේ නිල ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරම්ණේ නොනිල ආණ්ඩුවයි. විජය එම ආණ්ඩු දෙකේම වෛරයට පාත්‍ර විය. විශේෂයෙන් ඒ වන විට ජාතිවාදී අන්තයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ විජයගේ ලිබරල් චින්තනය දුටුවේ රට පාවා දීමක් වශයෙනි. එවකට ක්‍රියාත්මක වූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඔහු සිය ගමනට බාධාවක් බව දිටීය.

1988 වසරේ ජනවාරි 28 දින කොළඹ කැම්බල් පිටියේ පැවැති මහජන රැළියක් අතරතුර විජය, එවකට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සහ ජනතා විමුක්ති පෙරමුණ, බෙදුම්වාදී අරගලය සහ ජනතාවගේ ගැටළු විසඳීමට අපොහොසත් වීම පිළිබඳව දැඩි ලෙස විවේචනය කර, ඒ සඳහා නව වැඩසටහනක ඇති අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. ඔහු 1988 වසරේ දී නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා තවත් වමේ දේශපාලන පක්ෂ කිහිපයක් සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය ගිවිසුමකට එළඹෙන ලදී. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස එම සන්ධානය ගොඩනැගීමට දින කිහිපයකට පෙර එනම් 1988 පෙබරවාරි අද (16) වන් දිනක නාදුනන තුවක්කු කරුවකු අතින් අසාමාන්‍ය සිනමා පෞරුෂය විජය ඝාතනය විය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. විජයව හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන ගියමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබිණි. නඩු වාර්තාවල දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීරය හඳුනාගත නොහැකි වන පරිදි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩි තබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස වෙඩි තබා තිබිණි.

ඝාතනයට ලක්වන මොහොත වනවිටත් විජය කුමාරතුංග ශ්‍රී ලංකා දේශපාලන කරළියෙහි ඉසිළූ ජනප්‍රියත්වය අනුව ඔහු යම් දිනෙක රාජ්‍ය නායකත්වයට පත්වීම වැළැක්විය නොහැක්කක් වී තිබිණි. විජය රටේ නායකත්වයට පත්විණි නම් මේ රට සුඛිත මුදිත වී සුරපුරයක් වන්නට තිබිණැයි අප කියන්නේ නැත. එහෙත් ඔහු වඩාත් ලිබරල් ප්‍රවේශයක් සහිතව රටේ ප්‍රශ්න විසඳීම කෙරෙහි යොමුවිය හැකි මෙන්ම අවංකවම ජනතාවට සේවය කිරීමේ වුවමනාව සහිත නායකයෙකු වන්නට තිබිණි. රටට අහිමි වුණේ එවන් අවස්ථාවකි.