පසුගිය දිනක මම ශ්‍රී ලංකාවේ සිට එංගලන්තය බලා පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට ගොඩවුණෙමි. එහිදී ආහාරයට ලබාදුන් Couscous වෙනදා මෙන්ම හරිහැටි පිසී තිබුණේ නැත. මගේ දෙපස සිටි විදේශිකයින් දෙදෙනා ද එම ආහාරයට අතවත් තියා නොතිබුණු අතර ඔවුන් ද පැවසුවේ ඒවා අඩුවෙන් පිසින ලද ඒවා බවයි. මම මීට පෙර දෙවතාවක් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණු අතර මෙවර ද මම එම යානයේ සේවය කළ ස්ටුවඩ්වරයකුට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළෙමි.
“මේ කුස්කුස් එක හරියට කුක් කරලා නැහැ. මම මීට කලිනුත් මේ ගැන රිපෝට් කරලා තියෙනවා පුතා. ඇයි මේවා වෙනස් වෙන්නෙ නැත්තෙ ?”
ඔහු ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි අතර මා දෙපසින් සිටි විදේශිකයින් දෙදෙනා ද එම ආහාරය අඩුවෙන් පිසී ඇති බව ඔහුට පැවසූහ.
“සර් කලින් කීපාරක් රිපෝට් කරලා තියෙනවාද ? ස්ටුවඩ්වරයා මගෙන් විමසීය.
“කලින් දෙපාරක් රිපෝට් කරලා තියෙනවා පුතා. මේ තුන්වෙනි පාර”
“ශ්‍රී ලංකන් කේටරින් එක වෙනම ආයතනයක්නෙ සර්. අපට පුළුවන් රිපෝට් කරන්න විතරයි. ඒගොල්ලො ඒ වැරැද්ද හදාගන්නෙ නැති එක නම් ප්‍රශ්නයක් තමයි” ඔහු ඉතාම නිහතමානීව නැවතත් සමාව ඉල්ලමින් පැවසීය.
“එතකොට මේක ගැන මොකුත්ම කරන්න දෙයක් නැද්ද ?” මම විමසීමි.
“මම තාත්තාටවත් කියලා බලන්නම් සර්” ඔහු පැවසීය.
“ඒ කියන්නෙ, පුතාගෙ තාත්තා වැඩකරන්නෙ ශ්‍රී ලංකන් කේටරින් එකේද ?”
“නෑ සර්”
“එහෙනම් ඔයා චෙයාමන් ගනේගොඩගේ පුතෙක්ද ?”
“ඒත් නෑ සර්”
“එහෙනම් කවුද ?”
“මම ජනාධිපතිගෙ පුතා සර්” ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන කීය.
මේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුත්‍රයා ය. කසුන් දිසානායක ය. මට එවෙලේ දැනුන හැඟීම අදටත් හරිහැටි අකුරු කරගැනීමට අපහසුය. අපි නාමල් රාජපක්ෂලා, යෝෂිත රාජපක්ෂලා, රෝහිත රාජපක්ෂලා දැක ඇත්තෙමු. ඔවුන්ගේ කෙරුවාවල් කොතෙකුත් අසා, දැක ඇත්තෙමු. දහම් සිරිසේනලා, මනෝජ් රාජපක්ෂලා දැක ඇත්තෙමු. තාත්තලාගේ බලය ඔවුන් කොතෙක් නම් අවභාවිතා කළාදැයි අපට මතකය. එහෙත් මේ වනාහි වෙනස්ම වර්ගයේ ජනාධිපති පුතෙකි. ඊටත් එහා මේ අපේ අරවින්දගේ පුතා ය.
“මට සර් කියන්න එපා පුතා. ඔයාගෙ තාත්තායි මමයි පරණ යාළුවෝ. අසූ ගණන්වල ඉඳන් අපි අඳුනන්නේ” මම තරමක විස්තරයක් කීමි.
“එහෙම බෑ සර්. අපේ ප්‍රොටොකෝල් අනුව මේකෙදී සර් නොකියා බැහැ” ඔහු නැවතත් ඉතාම නිහතමානීව ඉතාම ප්‍රසන්න ලෙස පැවසීය.
ඉන් අනතුරුව ගුවන් ගමන තුළ ඉඩ ලැබුණු ලැබුණු අයුරින් අපි තරමක කතාබහක නිරත වීමු. ඔහු තම රාජකාරි කටයුතු වල යෙදෙමින් , ආහාර පාන පිරිනමමින්, අවශ්‍ය පිරිසිදු කිරීමේ කටයුතුවල ද නිරත වෙමින් යම් ඉසිඹුවක් ලද විට මා සමග කතාබහ කළේය.
මම ඔහුගෙන් පාසල ගැන විමසීමි.
“මම ගලහිටියාව සෙන්ට්‍රල් එකට ගියේ සර්. ටික කාලයක් ඩී. එස්. එකටත් ගියා” ඔහු ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ගැන කතා කළේ ගෞරවයෙනි. මම ද ඊට අලගු තබමින් එම විද්‍යාලයෙන් පැමිණ ඉහළම තනතුරුවලට ගිය මා දන්නා අය ගැන පැවසුවෙමි.
එතැනින් එහාට කතාව යොමුවුණේ ක්‍රිකට් ක්‍රීඩාව දෙසටය. මෑතක පැවති ක්‍රිකට් තරගයක් ගැන කතාවෙද්දී ඔහු කීවේ ටිකට් පත් තුනක් ලැබී තිබුණු බවත් තමන් ද එය නැරඹීමට යාමාට ආශාවෙන් සිටි නමුත් පසුව ඔහු නිවසට වී රූපවාහිනියෙන් තරගය නැරඹූ බවය.
“සර්ට කිව්වොත්, තාත්තා දිවුරුම් දෙන දවසෙත් මම ලන්ඩන් ෆ්ලයිට් එකේ හිටියේ. ඕනෙම නම් කීපවතාවක් මම ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ඇති. තාත්තා ඉතින් වැඩනෙ. මමත් මගේ රස්සාව කරගෙන ඉන්නවා”
ඒ ඉතාම නිරහංකාර, ඉතාම ප්‍රසන්න තරුණයා පැවසුවේ මා විස්මයට පත් කරමිනි. ඇත්තටම එහි පුදුම වන්නට දෙයකුත් නැත. එහෙත් මීට පෙර ජනාධිපතිවරුන් දිවුරුම් දෙද්දී ජනාධිපති පුතුන් ඒ උත්සවවල පෙරමුණේම සිටි ආකාරය අපට මතක ය. ඇත්තෙන්ම ඔවුන් තාත්තලාගේ බලය තමන්ට ආරෝපණය කරගැනීම ඇරඹුණේ එකී දිවුරුම් දීමේ උත්සවවල සිටම ය. කසුන්ගේ මේ කතාව ගැන පුදුම හිතෙන්නේ ඒ නිසා ය.
ජනාධිපති පුතුන් තබා ඊට සෑහෙන මෙපිටින් සිටි මාලක සිල්වා, නාරද දිසානායක වැනි ඇමති පුතුන් ගැන සලකා බැලීමේදී කසුන් වැනි ජනාධිපති පුතෙක් දැකගන්නට ලැබීම යනු අපේ රටේ දේශපාලන සංස්කෘතිය කොතෙක් වෙනස්ව ඇතිද යන්නට දිය හැකි හොඳම උදාහරණය බව සිතමි.
එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට යාමට සහ ඒමට මම නිතරම භාවිතා කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන්හි ගුවන් ටිකත්පතක් වෙනත් ගුවන් සේවාවකට වඩා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ මිලෙන් වැඩි නමුත් මම ශ්‍රී ලංකන් ගුවන් සේවයම භාවිතා කරන්නේ මහත් සතුටිනි. ඒ, මම අපේ ජාතික ගුවන් සේවයට ආදරය කරන බැවිනි.
එසේම ගුවන් සේවක සේවිකාවන් යනු “පැය 12 තානාපතිලා” ය. මම ඔවුන්ව හඳුන්වන්නේ එසේය. මන්දයත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ පළමු විශ්වසනීය, ආකර්ෂණීය හැඟීම ලබාදෙන්නේ හිනාවෙන් පිරුණු මේ අපේ තරුණ තරුණියන්ගේ මුහුණු ය. සැබැවින්ම ඔවුන් අපේ රට ලෝකය පුරා ප්‍රවර්ධනය කරන තානාපතිවරුන් නොවන්නේද ? කසුන් දිසානායක ඒ අර්ථයෙනුත් සිය සේවය අකුරටම ඉටුකරන තරුණයෙකි.
හිටපු ජනාධිපතිවරුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ලබාගත් තනතුරු, සිය ගණනින් සෙනඟ පිරිවරාගෙන ඔවුන් පෙන්වූ විගඩම් මතකයේ ඇති අපට මේ වෙනස මහ මෙරකි. ඒ ගැන සම්පූර්ණ ගෞරවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එලෙසින්ම පිළිගන්වමි.
ජනාධිපතිතුමනි, ඔබගේ ධුර කාලය අවසන් වූ දිනක අපට නැවතත් ලන්ඩනයේදී මුණගැසී කෝපි කෝප්පයක් බීමට හැකිය. ඇතැම්විට එදාට කසුන්වත් එකතු කරගන්නට අපට පුළුවන් වනු ඇත. එතෙක් අපි මේ විදියටම හිඳිමු …
~ චන්දිම


