ශ්‍රී ලංකාවට අවසාන තරගය මඟ හැරෙයි

0
6

නිශ්මං රණසිංහ පෙබරවාරි 21, කොළඹ LNW:

ආසියානු කාන්තා පන්දු ඕවර් 20 නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාවට අවසාන මහා තරගයට ඒමට ඇති අවස්ථාව ඉන්දියාව විසින් වළක්වාලනු ලැබුවා.ඒ ශ්‍රී ලංකාවට කඩුලු 5 ක පරාජයක් හිමි කර දෙමින්.


එහිදී පන්දුවෙන් සහ පිත්තෙන් එක සේ ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කළ ඉන්දීය නායිකාව රාධා යාදෙව්,ඇය සතු අත්දැකීම්වලින් මේ ජයග්‍රහණයට ලබා දුන් දායකත්වය නිසා ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද නම් කරනු ලැබුවා.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 19 ට කඩුලු 4 ක් ලබා ගත් ඇය,පිත්තෙන් ද පන්දු 18 ට නොදැවී ලකුණු 31 ක් ලබා දෙමින් කැපී පෙණුනා.ඒ නිසා ඉන්දියාවට ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 118 ඉක්මවා කඩුලු 5 ට ලකණු 119 ක් බවට සිය ලකුණු පූවරුව පත් කර ගැනිමට ගත වුණේ පන්දු ඕවර් 13.3 ක් පමණයි.
කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් ශ්‍රී ලංකාව ලකුණු 118 ට සියල්ල දැවී ගියා.එහිදී ආරම්භක කඩුල්ලට ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වූ සංජනා කාවින්දි (31) සමඟ හංසිමා කරුණාරත්න (14) එක්ව ලකුණු 36 ක සබඳතාවයක් තැබුවා.ඉන්දීය කණ්ඩායමේ පළපුරුදුම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව ලෙස රාධා දක්වපු දායකත්වය ලබා දෙන්නට ඊටත් වඩා පළපුරුදු ඉතිහාසයක් ඇති නායිකා අනුෂ්කා සංජීවනීට හැකි වුණේ නැහැ.


කෙසේ නමුත් ජාතික කණ්ඩායමට ඉතාම කුඩා වයසේ දී ම හැකියාවත්,පන්දු යැවීමේදී දක්වන විප්‍රකාර පෝල් ඇඩම්ස්යානු ලක්ෂණයත් නිසා අවධානයට ලක් වූ ශෂිනි ගිම්හානි පිතිකරණයේ දී දක්ෂතා පෙන්වමින් සිටින අතර ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුන් ඉරියව් කුසලතා ඇති ක්‍රීඩිකාවක බවට පෙන්වා ඇති හැකියාව මෙහිදි විඳහා පෙන්වනු ලැබුවා.පිත්තෙන් ද දැවන්ත හයේ පහරක් සමඟ ලකුණු 22 ක් රැස් කළ ඇය,පන්දුවෙන් ද ලකුණු 33 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණුනා.එහෙත් ඇය පන්දු රැකීමේ දි දැක් වූ දස්කම් ඒ සියල්ලටම ඉහළින් ඇගයීමට ලක් වුණා.විශේෂයෙන් මේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිණිය සේ කැපී පෙනෙන ව්‍රින්දා දිනේෂ් දුවද්දී දවා ගැනීම සඳහා ශෂිනි මිඩ් විකට් කළාපයේ සිට කෙළින්ම කඩුල්ලට එල්ල කළ පන්දුව දවසේ තරගයේ සුවිශේෂීම සිඳුවීමක් බවට පත් කළා.


ශ්‍රී ලංකාවේ පිතිකරණයේ ආරම්භයට වඩා බොහෝ වෙනස් මන්දගාමී සහ දුර්වල අවසානයක් දකින්නට ලැබුණා.කඩුලු අතර දිවීමේ දී දක්වන ලද දුර්වලතාවයන් මෙහිදී ද කැපී පෙණුනා.කෙටි දුර ධාවන හැකියාව වගේම දරා ගැනීමේ ගුණාංගයන් ද වැඩි දියුණු වී ක්‍රිකට් සමඟ සම්බන්ධ විය යුතු බව මෙහිදීත් පැහැදිළි වුණා.එසේම මේ තරගයට පිවිසෙන විට තරගාවලියේ වැඩිම ලකුණු එකතුවෙන් ව්‍රින්දා දිනේෂ්ට පමණක් දෙවැනිව සිටි හංසිමා කරුණාරත්න දවාලීම සඳහා විනිසුරුවරිය දුන් තීන්දුව ද ශ්‍රී ලංකාවට දැඬිව බලපෑවා.ඒ වන විට වේගවත් සහ විශ්වසනීය ආරම්භක කඩුල්ලේ සබඳතාවයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක කඩුලු රකින්නිය විසින් උඩ පන්දුවක් රැක ගත් බවට විනිසුරුවරිය ලබා දෙන තීරණය කඩුුලු රකින්නිය එම පන්දුව වයිඩ් පන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම වැළක්වීම සඳහා ගත් උත්සාහයක් වුව ද,බංගලාදේශ විනිසුරුවරියගේ ඇඟිල්ල එසැවෙන්නේ නොසිතූ වාසනාවක් ඉන්දියාවට ලබා දෙමින්.


අයිසීසී ය විසින් ගත් තීරණයක් නිසා දැයි කිව නොහැකි ආකාරයට ජාතික කණ්ඩායම් අතර තරග නොවන අවස්ථාවල ජාත්‍යන්තර තරගවලදි තෙවන විනිසුරුගේ සහය ලබා නොගැනීම හංසිමාගේ දැවී යාම විසින් නැවත වරක් නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කරන අසාධාරණයක් බව පැහැදිළි කරනු ලැබුවා.තෙවන විනිසුරුගේ පැමිණිම සිඳුවන්නේම විශ්වාසය තහවුරු කිරීමට වුව ද,මේ ආකාරයට ජාතික කණ්ඩායම්වලට පිවිසීම සඳහා උර දෙන මඟ සකස් කරන තරගවලදී එම අවස්ථාව පැහැර හැරීමෙන් ක්‍රිකට්වලට එම යොදා ගැනීම හරහා විය යුතු සාධාරණය සිඳු නොවන බව දකින්නට ලැබීම කණගාටුවට කරුණක් වෙනවා.


කෙසේ නමුත් මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම දක්වන ලද දක්ෂතා අවතක්සේරු නොකළ යුතුයි.ඔවුන් ඉතාම ශක්තිමත්ව සහ විශ්වාසයෙන් ක්‍රීඩා කළා.එසේම අප මේ කණ්ඩායම නම් කිරීමේදී ද ප්‍රශ්න කළ ආකාරයට මේ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා යැවිය හැකි හොඳම කණ්ඩායම ද යන ප්‍රශ්නය, මේ තරගාවලිය තුළ ලද ප්‍රතිපලවලින් නැවත නැවතත් මතු කරනු ලැබුවා.එය නායකත්වයේ සිටම අනාගතය වෙනුවෙන් වැදගත් දක්ෂ කණ්ඩායමක් ද යන ප්‍රශ්නය අවසානයට ද ඉතිරි කර තැබුවා.


කෙසේ හෝ ඉන්දියාව සමඟ අවසාන තරගයේ දී මුණ ගැසෙන්නට තිබුණානම් මේ ප්‍රතිපලය මීට වඩා වෙනස්වන්නටත් තිබුණා.එසේ නොවී අවසාන පූර්ව වටයේදි සිඳු වූ හමුවීම ඇති කළේ බංගලාදේශය සමඟ ජය ගැනීමට හැකිව තිබූ තරගයෙන් ලද පරාජය වූ අතර එහිදී ද විශාල බලපෑමක් ඇති කළේ කෙටි ලකුණු එකතු කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් දක්වන මැලිකමයි.