මැදිවියේ හෘදයකින් නික්මුණ
මතක ආළෝක දැල්ලක්
ප්‍රියයන් සොහොන් කල
ඉසව්වක ගැවසේ.
අම්මේ දැන් වේදනා අඩුයිද ?
අප්පච්චි මුණ ගැහෙන්නට ලැබුණාද?
නංගිලා තවම නොරටය
මල්ලී ගමේ තනියම.
හිටියා නම් තව ටිකක්
මී මුණුබුරන් දකින්නට තිබුනා
එයාලත් රට රටවල්වල
කතාව අන්තර්ජාලයෙන් පමණයි.
පාලු හැන්දෑවලට
වැඩියෙන් මතක් වෙනවා හැමෝම
මිය නොගිහිනුත් අපි වෙන්වෙලා
තුවාල මිස ඔසු නැත.
තව ටිකක් සලකන්න තිබුණාද?
නොහිතා වෙනස්කමක් වුනාද?
අපිත් හිටියේ අරගලයක
ඉස්පාසුවක් නැතුව දුව දුව.
හිටි ගමන් සමහරදාට
ඇඬෙනවා මට තනියම.
අදත් ඒ වගේ දවසක්
දුක කියන්නත් කෙනෙක් නැති.
තව ටිකකින් රෑ වෙයි .
කුස්සියේ වැඩ පිරෙයි .
සියල්ල හරි නොගියත්
හරි ගියා වගේ ඉන්න වෙයි.
~ වර්ණ රසිකා ගුණවර්ධන


