හල්දුම්මුල්ලේ විජිත ….

විජිත හේරත් ඉන්දියාවේ මොකක්ද මඟුලකදි අවුලට ඉංග්‍රීසි කතාකලාට දැන් සිලින්ඩර් සජබ සහ පොහොට්ටු අය ඔජවඩමින් හා හා දානවා මම බලාගෙන. ඒ වගේම රටේ නම්බුවත් නැති වෙනවලු. බම්බුව තමයි. රටේ නම්බුව නැතිවෙලා දැන් කොයි කාලයක් වෙනවද…

මම හිතන්නේ එහෙම නෙවෙයි. විජිතට චන්දෙ දුන්නේ කවුද? ඒ තමයි ගොඩක් අගනාගරික ප්‍රදේශයක් වන ගම්පහ ජනතාව. කොළඹට ගොඩක් ලඟයි. සෑහෙන තරඟකාරී ප්‍රදේශයක්. විභාග ප්‍රතිපලත් හොඳයි. ඉන්නෙත් ගැමියොම නෙවෙයි.

ඇයි එයාල හෝදලා විජිතට චන්දෙ දුන්නේ? ඒ තමයි අර හොඳට ඉංග්‍රීසි කතා කරපු උං එපාවීම. උංගේ කෙරුවාවත් එපා වීම. තිත්ත වීම.

විශේෂයෙන් ඔය පාස්කු ප්‍රහාරේ වගේ එකක් ගැන අහනකොට රනිල් DW එකට දුන්න ඉන්ටවිව් එක අහන්න. ඉංග්‍රීසි දැනගත්තට මොකද මැරුණ මිනිස්සු ගැන කිසිම කැක්කුමකින් නෙවෙයි කතාකළේ. මිනිස්සු පැත්තේ ඉඳල නෙවෙයි කතා කළේ. හෙන ගැම්මෙන් උද්දච්ච විදියට අර මාධ්‍යවේදියාට තගදාගෙන කතා කළේ. හැබැයි හොඳ ඉංග්‍රීසියෙන්.

අන්න ඒ නිසා තමයි මිනිස්සු ඉංග්‍රීසි පැත්තකින් තියල හල්දුම්මුල්ලේ විජිතට චන්දෙ දෙන්නේ. පොෂ් රනිල් ගෙදර තිබ්බේ.

හල්දුම්මුල්ලේ විජිත කියන්නේ අව වරප්‍රසාදිත ඉස්කෝලෙකින් එන කෙනෙක්. රෝයල් ට්‍රිනිටි වගේ ‘කොළඹට කිරි අපිට කැකිරි’ බෙදුමේ කොළඹ අන්තයේ කෙනෙක් නෙවෙයි. ඉතිං මිනිස්සු ඉංග්‍රීසි සහ පොෂ් බව කැපකරලා තමයි අනුර විජිත හඳුන් ලාල්ල ගේන්නේ. කොළඹ එවුංගේ හැටි තේරුම්ගත්ත නිසා තමයි මිනිස්සු මේ ආවස්ථිත පිරිවැය දරන්නේ.

හල්දුම්මුල්ලේ විජිත එක් එක් අවස්ථාවල ලංකාවේ ඉහල පෙලේ ඇමතිකම් කිහිපයක් කරනවා. එක අවස්ථාවක ඔහු අගමැති තනතුර සඳහා උනත් තෝරපු නමක් උනා.

විජිතට ඉංග්‍රීසි චෝදනා තිබ්බට මෙතරම් කාලෙකට දූෂණ වංචා චෝදනා නැහැ (මම දන්නා තරමින්). අර මොක්කුද එවුං වගයක් සල්ලිවලට හොඳම සංචාරක ඇමතිකම වෙනුවෙන් සම්මානයක් දෙන්න හදනකොට බැනලා එලවගත්ත කියලත් මම නිව්ස් එකක් දැක්ක. සාමාන්‍යයෙන් එයාගේ ඇමතිවරයෙක් හැටියට පරිපාලන දුර්වලතා ගැන කියනවා මම අහලත් නැහැ. සංචාරක ඇමති හැටියට ඔහු හොඳයි කියනවත් මම අහගෙන.

ඒ කියන්නේ අපි මේ සටනේ යම් කොටසක් විජිත හරහා කරගනිමින් ඉන්නවා. හැබැයි පොෂ් කොටස නැහැ තමයි. ඊළඟ පාර ඒකත් හදාගමු. දැනට ඔහොම යං…

~ මහේෂ් හපුගොඩ