ඉන්දියන් සාගර කලාපීය සහයෝගිතාව ඉතා වැදගත් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

මධ්‍යපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික හා ආරක්ෂක ස්ථාවරත්වය සුරැකීම සඳහා කලාපීය නායකයන් අතර නිරන්තර සහයෝගීතාවයේ ඇති වැදගත්කම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

තවද, බාහිර බලපෑම් සහ නාවික ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඒකාබද්ධ දේශපාලන දැක්මක් සහ ශක්තිමත් සංවාද මණ්ඩපයක් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කරයි.

යුරෝපීය රටවල් මෙන් සමීපව කටයුතු කරමින් වෙළඳාම, සමුද්‍රීය ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස වැනි පොදු අර්බුද ජය ගැනීමට කලාපීය එකමුතුවක් ගොඩනැගිය යුතු බව ඔහු යෝජනා කරයි.

ගෝලීය දේශපාලන වෙනස්කම් හමුවේ ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගත් ප්‍රායෝගික සැලැස්මක් සකස් කරගැනීම හරහා කලාපීය රටවලට තමන්ගේ අනන්‍යතාවය සහ ආරක්ෂාව තහවුරු කරගත හැකි බවද පෙන්වා දෙයි.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව වැනි රටවල් සිය වරාය සහ සේවා පද්ධතීන් නවීකරණය කරමින් මෙම සාමූහික ගමනට සක්‍රීයව දායක විය යුතු බවද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කරයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපයේ රටවලට බෝම්බ හෙළමින් පහරදෙනවා. අනෙක් අතට ඉරානය, කලාපයේ තවත් සාමාජිකයින් වන ගල්ෆ් කලාපයේ රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කරනවා.අමෙරිකාව විසින් ඉරාන නෞකාවක් සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දමන්නේ සමුද්‍රීය ආරක්ෂාවට මුල්තැන හිමිවිය යුතු අපේ සාගර කලාපයේ.ඊට නිසි ප්‍රතිචාරයක් නොගැලීම හෝ අවම වගකීමක් දැරීම තුළින් පැහැදිලි වන්නේ අද අප පිළිගැනීමක් නොමැති තත්ත්වයට පත්වී ඇති ආකාරයයි.ඒ අතර ඔබට දකින්න පුළුවන් අමෙරිකා එක්සත් ජනපදය යුරෝපා රටවල් සමග සංවාදයේ නිරත වෙනවා. යුරෝපා රටවලුත් එකිනෙකා අතර සාකච්ඡාමය සංවාදයක් පවත්වාගෙන යනවා.ඉන්දීය සාගර කලාපයේ ඒ කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේ සමීප සහයෝගීතාවක් සහ පුද්ගලික මට්ටමේ සාකච්ඡා සංවාදවලින් තොරව, අප ඇතිකරගතයුතු ආකාරයේ ඒකාබද්ධතාවක් ගොඩනැඟීමට හැකිවන්නේ නැහැ.අප නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කළ යුතුයි. දේශපාලන කටයුතු, සමුද්‍රීය ආරක්ෂාව, වෙළෙඳාම, ආර්ථික ඒකාබද්ධතාව, ධීවර කටයුතු, කෘෂි කර්මාන්තය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කලාපයේ රටවල රාජ්‍ය නායකයින් හමුවී සාකච්ඡා කළ යුතු බවට මම යෝජනා කරනවා.

අපි අපේ වරාය සහ සේවා සැපයුම් ද වැඩිදියුණු කළ යුතුයි. අපට තිබෙනවා කොළඹ ආරක්ෂක සංවාද මණ්ඩලය. අප එක්ව කටයුතු කළත් දේශපාලනමය දැකීමක් සම්බන්ධයෙන් තවමත් අවදානය යොමුකර නැහැ. අමෙරිකාව අද ගෝලීය කටයුතුවලින් ඉවත්වෙමින් සිටින්නේ. එය තවත් අතකින් කලාපයේ ආරක්ෂාවට සහ වර්ධනයට අවස්ථාව සලසන බව කිව හැකියි. අපට මේ අවස්ථාව උපයෝගී කරගෙන ඉන්දීය සාගර කලාපය සඳහා සැලැස්මක් සකස් කරන්න පුළුවන්.එහිදී අපේ කලාපීය රටවලට නිරන්තර සාකච්ඡා, සංවාද තුළින් අනෙකුත් සාගර කලාපීය කණ්ඩායම් මෙන් එකමුතුභාවයක් ගොඩනැංවෙන ආකාරය පිළිබඳ සොයාබැලීමට හැකිවේවි” යනුවෙන් පෙන්වා දෙයි.