Home විදෙස් මැදපෙරදිග යුද ගින්නෙන් ලොවම පිලිස්සෙද්දී චීනය ‘බලශක්ති පවුරක්’ තනාගත්තේ කෙසේද?

මැදපෙරදිග යුද ගින්නෙන් ලොවම පිලිස්සෙද්දී චීනය ‘බලශක්ති පවුරක්’ තනාගත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක මාර්තු 19,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උණුසුම් යුද වාතාවරණය හේතුවෙන් වර්තමානය වන විට මුළු මහත් ලෝකයම දරුණු බලශක්ති අර්බුදයකට මැදිව සිටී. විශේෂයෙන්ම ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් (20%) ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීමත් සමඟ, ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයක් ඩොලර් 120 සීමාව දක්වා ඉහළ ගොස් ඇත. මෙම අර්බුධය හමුවේ පිලිපීනය වැනි රටවල් ඉන්ධන පිරිමසා ගැනීමට සතියට දින 4ක වැඩමුර හඳුන්වා දෙද්දී සහ ඉන්දුනීසියාව තම සති කිහිපයකට සීමා වූ සංචිත දෙස බලා සුසුම් හෙළද්දී, ලොව විශාලතම තෙල් පාරිභෝගිකයා වන චීනය තවමත් නොසැලී සිටීම සැබවින්ම විමසිය යුතු කරුණකි.

මෙම අර්බුදය හමුවේ අනෙකුත් ආසියානු අසල්වැසියන් අසරණ වෙද්දී, චීනය මෙතරම් ශක්තිමත්ව නැගී සිටින්නේ කෙසේද? ඒ සඳහා ඔවුන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක කළ සැපයුම් ජාල ඔරොත්තු දීමේ හැකියාව (Supply Chain Resilience) සහ උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) මෙසේය.

චීනයේ බලශක්ති සුරක්ෂිතතාවය පිටුපස ඇති එක් ප්‍රධාන රහසක් වන්නේ ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් භූගෝලීය වශයෙන් බෙදා ඇති ආකාරයයි. මෙය එක්තරා ආකාරයක ‘ද්විත්ව මාවත්’ (Dual-track) පද්ධතියකි. මැදපෙරදිග සහ ඉරානයෙන් පැමිණෙන තෙල් නැව් දකුණු චීන මුහුද හරහා ගොස් දකුණු චීනයේ කර්මාන්තශාලා පෝෂණය කරයි. මැදපෙරදිග යුද්ධය මෙම දකුණු ප්‍රදේශයේ සැපයුම් ජාලයට යම් පීඩනයක් එල්ල කළද, චීනයේ උතුරු ප්‍රදේශය එම අවදානමෙන් මුළුමනින්ම පාහේ නිදහස්ය.

චීනයේ උතුරු ප්‍රදේශය ප්‍රධාන වශයෙන් බලශක්තිය ලබා ගන්නේ දේශීය තෙල් නිධිවලින් සහ රුසියාවේ සිට සෘජුවම රට තුළට ඇතුළු වන නල මාර්ග හරහාය. බටහිර සම්බාධක මධ්‍යයේ වුවද, රුසියාව මේ වන විටත් චීනයේ විශාලතම තෙල් සැපයුම්කරු බවට පත්ව තිබීම මෙහි ඇති සුවිශේෂී භූදේශපාලනික තත්ත්වයයි. චීනයේ මුළු බලශක්ති ආනයනයෙන් පහෙන් එකක් (20%ක්) පමණ රුසියාවෙන් ලබා ගැනීම හරහා මැදපෙරදිග කලාපීය අස්ථාවරත්වය හමුවේ චීනයට විශාල ආරක්ෂාවක් ලැබී ඇත.

චීනයේ 'රහස් අවිය'

චීනය මෙම අර්බුදය සඳහා සූදානම් වූයේ අද ඊයේ නොවේ. පසුගිය වසර කිහිපය පුරාම ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගිය සෑම අවස්ථාවකම, එම වාසිය (Buying the dip) ලබා ගනිමින් චීනය තම මූලෝපායික සංචිත පුරවා ගැනීමට කටයුතු කළේය. සැක්සෝ බැංකුවේ (Saxo Bank) භාණ්ඩ උපායමාර්ග අංශ ප්‍රධානී ඔලේ හැන්සන් (Ole Hansen) පෙන්වා දෙන්නේ චීනය සතුව බැරල් මිලියන 900කට අධික සංචිතයක් පවතින බවයි. ඇතැම් මූලාශ්‍රවලට අනුව මෙය බැරල් බිලියන 1.4ක් තරම් දැවැන්ත අගයක් විය හැකිය.

"මෙම දැවැන්ත පරිමාව සැපයුම් අවම කරන සැබෑ ආරක්ෂිත පවුරක් (substantial buffer) ලෙස ක්‍රියා කරයි," - ඔලේ හැන්සන්.

මීට අමතරව, Kpler ආයතනයේ දත්ත පෙන්වා දෙන්නේ මේ වන විටත් ඉරානයෙන් ලබාගත් තෙල් බැරල් මිලියන 46ක් පමණ දකුණු චීන මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවල ගබඩා කර ඇති බවයි. මෙය ඕනෑම හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි අතිරේක බලශක්ති ශක්තියකි.

චීනය තෙල් මිල මත යැපීම අවම කිරීමට ගෙන ඇති වඩාත්ම සාර්ථක පියවර වන්නේ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමයි. සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ රොක් ෂී (Roc Shi) පවසන පරිදි, චීනයේ මෙම මාරුව මගින් එරට ප්‍රවාහන අංශය ජාත්‍යන්තර තෙල් වෙළඳපොළෙන් විසංයුක්ත (Decoupled) කර ඇත.

“චීනයේ විද්‍යුත් වාහන හිමියෙකුට මැදපෙරදිග යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාම සෘජුව දැනෙන්නේ නැත. ඔවුන්ගේ ප්‍රවාහන පිරිවැය ජාත්‍යන්තර මිල දර්ශක මත තීරණය නොවේ.”

දැනට චීනයේ අලෙවි වන අලුත් වාහනවලින් තුනෙන් එකක්ම විද්‍යුත් වාහන වන අතර, 2025 වසර අවසන් වන විට ඔවුන් තම මුළු විදුලි උත්පාදනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට සමත් වී ඇත. මෙය පරිසර හිතකාමී පියවරක් පමණක් නොව, ගෝලීය තෙල් අර්බුද හමුවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ගත් උපායමාර්ගික පියවරකි.

චීනයේ බලශක්ති පද්ධතියේ කොඳු නාරටිය තවමත් ගල්අඟුරුය. ලොව විශාලතම ගල්අඟුරු නිෂ්පාදකයා ලෙස චීනය ස්වයංපෝෂිත වන අතර, ඔවුන්ගේ මුළු බලශක්ති මිශ්‍රණයෙන් තෙල් සහ ගෑස් සඳහා වැය වන්නේ හතරෙන් එකක් (25%) වැනි සුළු ප්‍රමාණයකි.

කෙසේ වෙතත්, චීනය මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් යැයි මින් අදහස් නොකෙරේ. දත්ත වාර්තාවලට අනුව, ඉන්ධන මිල ඉහළ යාම නිසා පසුගිය සතියේ පෙට්‍රල් සහ ඩීසල් ටොන්නයක මිල පිළිවෙළින් යුවාන් 695කින් සහ 670කින් ඉහළ දැමීමට රජයට සිදු විය. එමෙන්ම බලශක්ති මිල ඉහළ යාම EV රථ ආරෝපණය කිරීමේ පිරිවැයටද බලපෑම් කළ හැකිය. මෙයින් පැහැදිලි වන්නේ චීනයට දැවැන්ත පවුරක් තිබුණද, ගෝලීය අර්බුදයේ රළ පහරවල් යම් මට්ටමකින් ඔවුන්ගේ ආර්ථිකයටද බලපාන බවයි.

චීනය වර්තමාන බලශක්ති අර්බුදය හමුවේ පෙන්වන ස්ථාවරත්වය, දශක දෙකහමාරක පමණ සිට ක්‍රියාත්මක කළ දුරදර්ශී සැලසුම්වල ප්‍රතිඵලයකි. ඔවුන් රුසියාව වැනි විකල්ප සැපයුම්කරුවන් සමඟ සබඳතා තහවුරු කර ගැනීම, මිල අඩු කාලයේදී තෙල් තොග රැස් කිරීම සහ බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම හරහා තම රට වටා ‘ආරක්ෂිත කලාපයක්’ නිර්මාණය කරගෙන ඇත.

මෙම අත්දැකීම අනෙකුත් රටවලට ලබා දෙන පාඩම පැහැදිලිය. ගෝලීය බලශක්ති දේශපාලනය සහ සැපයුම් මාර්ග ඕනෑම මොහොතක අඩාල විය හැකිය. එවැනි අවදානමකට මුහුණ දීම සඳහා තවමත් පොසිල ඉන්ධන මතම යැපෙනවා වෙනුවට, බලශක්ති ස්වාධීනත්වය කරා යන චීනයේ මෙම ‘සූත්‍රය’ අනුගමනය කිරීමට කාලය එළඹ ඇත.