රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ LNW :
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මගින් පියවර ගෙන ඇත.
දෙරට අතර පවතින වෙළඳ ගනුදෙනු 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි.
ආරක්ෂක කටයුතු, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතා ගිවිසුම් කඩිනම් කිරීමට ද මෙහිදී එකඟතාව පළ වූ බව වාර්තා වේ.
බ්‍රසීල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත අතර, කෘෂිකර්මය, වරාය සහ නාවික කටයුතු මෙන්ම ක්‍රීඩා යන අංශවලින් නව සහයෝගීතා අවස්ථා ද හඳුනාගෙන ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීල විදේශ අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් කලාපීය ලේකම් තානාපති සූසන් ක්ලීබෑන්ක් යන මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් පැවැති මෙම සාකච්ඡා මගින් 2022 වසරේ සිට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කර ඇත.
විශේෂයෙන්ම කිරි පට්ටි පාලනය සහ උක් වගාව වැනි කෘෂිකාර්මික අංශයන්හි තාක්ෂණික දියුණුව සඳහා බ්‍රසීලයේ සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඉදිරි විදේශ සංචාරය සහ පාර්ලිමේන්තු මට්ටමේ සබඳතා අලුත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණූ අතර, මෙම හමුව මගින් දෙරටේ ආර්ථික හා සමාජීය අංශයන්හි නව ද්වාරයන් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.





