Home විදෙස් ඉරාන තර්ජනයට ජනාධිපති ට්‍රම්ප් සලිත වෙලාද? ගැටුම් අවසන් කිරීම ගැන ඉඟියක්!

ඉරාන තර්ජනයට ජනාධිපති ට්‍රම්ප් සලිත වෙලාද? ගැටුම් අවසන් කිරීම ගැන ඉඟියක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත පහර දීම දින පහකට කල් තැබූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සිය ‘Truth Social’ සමාජ මධ්‍යයේ මේ ගැන සටහනක් තබමින් පවසන්නේ මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවත්ය.

“පසුගිය දින දෙක පුරා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම පිළිබඳව ඉතා යහපත් හා ඵලදායී සාකච්ඡා පැවැත්වුණු බව මම සතුටින් දන්වා සිටිමි.

මෙම සතිය පුරා අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය අනුව, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිතව තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් තබන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට (Department of War) උපදෙස් දුන්නෙමි. මෙම තීරණය දැනට පවතින රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වය මත රඳා පවතී. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්.” යනුවෙන් ඔහු සිය සමාජ මාධ්‍ය හරහා පවසා තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය පැය 48ක් ඇතුළත විවෘත නොකළහොත් එරට බලශක්ති යටිතල පහසුකම් විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ අකර තිබුණු අතර එම කාලය අදින් අවසන් වන අතර අද ඉරානය නිවේදනය කළේ එක්සත් ජනපදය සිය බලාගාරවලට පහර දුන්නොත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා කලාපීය බලශක්ති සහ ජල යටිතල පහසුකම්වලට පළිගැනීමේ ප්‍රහාර එල්ල කරන බවයි.

ඒ අනුව සිය බලශක්ති කේන්ද්‍ර වෙත පහරදීමක් සිදුවුවහොත් කලාපය තුළ පවතින එක්සත් ජනපද හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාර වෙත පහර දෙන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කරන ලදී.