රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ LNW :
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය ආධාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට තීරණය කර ඇති බව අනාවරණය වේ.
ඒ අනුව, මෙම වසර සඳහා වෙන් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 380ක මුදල ඩොලර් මිලියන 480 දක්වා වැඩි කර ඇති අතර ඉන් සැළකිය යුතු කොටසක් වහාම නිදහස් කිරීමට එකඟ වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ යටිතල පහසුකම් විනාශය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවට ද ප්‍රතිඥා දී ඇත.
රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන අරමුණු ජය ගැනීම සඳහා රජය දරන උත්සාහය මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.
මීට අමතරව, මධ්‍යම කඳුකරයේ ජල පද්ධති සංරක්ෂණය කරමින් අනාගත ස්වභාවික විපත් අවම කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ද බැංකුව එකඟතාව පළ කර ඇත.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන්නක් බව මින් පැහැදිලි වේ.



