නිශ්මං රණසිංහ ,අප්‍රේල් 08, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයක් හමුවේ මෙරට සංගමයක් ලැබූ දරුණුතම සහ ඉහළම දඩුවම ලෙස සැලකෙන්නේ ලෝක රග්බි සම්මේලනය (World Rugby) විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට (SLR) පැනවූ දඩුවම් සහ දඩ මුදලයි. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සුදුසුකම් නොමැති ෆීජි ජාතික ක්‍රීඩකයන් තිදෙනෙකුට (Joseph Dyer, Emori Waqavulagi සහ Christopher Cloete) ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා දී ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කරවීම නිසා මෙම දඩ මුදල ගෙවීමට සිඳු විය.
මෙවැනි තත්ත්වයන් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ රගර්වලට සම්බන්ධව පමණක් නොවේය.ස්පාඤ්ඤය වැනි රටවලද මෙවැනි තත්ත්වයන් දැකිය හැකි වන අතර එහිදී එයට මුහුණ දෙන විට සභාපතිවරුන්ට නිලය හැර යාමට සිඳු විය.ඇත්තටම ඔවුන් ඉල්ලා අස් වී ඔවුන් අතින් වූ වරදට දඩුවම් දෙන්නට ලෝක සම්මේලනයට සහ සිය දේශීය සම්මේලනයට අවශ්‍යය මහත්මා සහය ලබා දුන්නේය.
එහෙත් ලංකාවේ දී එවැන්නක අවශ්‍යයතාවය පැන නොනැගිණ.මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ රගර් ක්‍රීඩකයන් වූ ඔවුන්ගේ පුතුන්ට මෙන්ම මහින්ද ජනාධිපතිවරයාට ද සමීපව එවකට සභාපතිවරයා වූ අසංග සෙනවිරත්න වැඩ සිඳු කළේය.මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමක් ගැන වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා අසංග සමඟ එකට මිත්‍රශීලීව ඡායාරූපවලට පෙනී සිටීමට ප්‍රථම දියගම දී හෙළිදරව් කළ ද දැන් ඒවා මතකයේ පස් යට ඇතැයි සිතා නිහඬය.
දඩුවමක් නොදී කර ඇරීම නිසා අවසානයේ අසංගට සිය ජාත්‍යන්තර මිතුරු සබඳතා යොදාගෙන ආසියානු සභාපතිවරයා හරහා ආසියානු රග්බි සම්මේලනයේ තනතුරකට යාමට ද හැකි විය.නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති සමයේ උපදේශක කමිටුවක් පත් කර නිල බලයෙන් පත් වූ සභාපතිවරයාට උඩින් අසංග එම කමිටුවේ සභාපතිවරයා කරන්නටද නාමල් කටයුතු කළේය.ඊට පසුව දියගම දී මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමේ වැරදි ගැන සහ සැක සහිත වංචාවන් අක්‍රමිකතාවයන් ගැන කියමින් මාධ්‍යවලට කරුණු බෙදා දුන් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ ආසියානු සභාපතිගේ බලපෑම මත ශ්‍රී ලංකාවේ රගර් පාලනය කරන කමිටුවකට ද අසංග ගෙන ඒමට ලිපි සකස් කළත්,එය ඊට පෙර සමාජ ගතවීම නිසා වැළක්විණ.
එසේම සීඅයිඩී ය සම්බන්ධ තවත් විමර්ශනයක් පවතින අතර එහිදි පරික්ෂා කරන්නේ රගර් ගිණුමේ නිවැරදි තොරතුරු නැති මිලියන 55 ක මුදලක් ගැනය.එසේම මහින්ද රාජපක්ෂ සමයේ පවුම් 50000 ක දඩය ශ්‍රි ලංකා රග්බි සංවර්ධනයට ජාත්‍යන්තරයෙන් ලැබෙන අරමුදලින් අඩු කර ගැනීමට එහි වගකිව යුතු නිලධාරියා ලෙස අසංගම කටයුතු කළේ ඔහුට ඉල්ලා අස්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය හෝ පැවති ඔහුගේ නායකත්වයෙන් යුතු රග්බි පරිපාලනය කටයුතු නොකළ නිසාය.එම ඉල්ලිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමඟ හුවමාරු වූ විද්‍යුත් ලිපිවල යොමුව වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩා පාළක සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක ද සිටින්නේය.මේ විද්‍යුත් ලිපි තවම තිබේද යන්න සැක සහිත වන්නේ වර්ථමානයේ අසංග සභාපතීත්වය දරන බේස්බෝල් පරිපාලනයට එහි ප්‍රධාන විධායක නිලධාරියාව ලෙස කටයුතු කළ තීක්ෂණ ගම්මන්පිල එල්ල කරන චෝදනා අතර එක් චෝදනාවක් ලෙස පැහැදිළිව ඔහු කියා ඇත්තේ විද්‍යුත් තැපෑලෙන් වැදගත් කරුණු මකා දමා ඇති බව වීම නිසාය.
කෙසේ නමුත් ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යවරු වශිකෘත කර ගැනීමට සහ ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඊටත් තදින් වශී කර ගැනීමට හැකියාව අසංග සතුය.ඊට වෙනස් පිළිවෙතක් දකින්නට ලැබුණෙ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔම්බුඩ්ස්මන් තනතුරේ සිටි චූලානන්ද පෙරේරාගෙන් පමණි.ඔහු හිටපු ආගම විගමන පාළකවරයෙකු වූ බැවින් “ෆීජි ජාතික ක්‍රීඩකයන් තිදෙනෙකුට (Joseph Dyer, Emori Waqavulagi සහ Christopher Cloete) ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා දීම“ යන්නෙහි ඇති බරපතල වැරදිකාරී ස්වරූපය තේරුම් ගෙන ඒ ගැන විමර්ශන සිඳුවීමේ වැදගත්කම වගකිව යුතු දේශාපාලන අධිකාරියට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද ලිඛිතව දන්වා සිටියේය.
ක්‍රීඩාවට පමණක් අදාළ නොවන පරිපාලන නොහැකියාව සම්බන්ධයෙන් අසංගට එල් වි ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු පවසන්නේ ඒවා සැළසුම් සහගතව තමන්ගේ කීර්ති නාමයට එල්ල කරන චෝදනා ලෙසය.ඒ සමහර කරුණු මේ වන විටත් ක්‍රියාකාරිව සිඳුවන බවක් දකින්නට නොතිබුණත් රජයේ විවිධ නීති අංශවල විමර්ශණයට යොමු වී ඇති බ අපි දනිමු.මේ මොහොතේ ‘ෆීජි ජාතික ක්‍රීඩකයන් තිදෙනෙකුට (Joseph Dyer, Emori Waqavulagi සහ Christopher Cloete) ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා දීම‘ කියන කාරණය සම්බන්ධයෙන් සහ එයට ශ්‍රී ලංකාව වරදකරුවීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රගර් කේෂ්ත්‍රෙය් වූ අහිමිවීම් ගැනත්,පසුව ඊට වගකිව යුතු ප්‍රධානියා ලෙස වගකීම ගෙන තනතුර හැර නොයා එම මුදල ජාත්‍යන්තර ය විසින් ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට දෙන මුදලින් අඩු කිරීමට කටයුතු කිරීම ගැනත් පැහැදිළිව හඳුනාගත හැකි කරුණු තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුව ඉබ්බාගේ වේගයටත් අඩුවෙන් වැඩ කරමින් සිටින හේතුව සිතා ගන්නට නොහැකිය.
සමහර විට ක්‍රීඩාව යනු නිකං සෙල්ලමක් ලෙස ඔවුන් හඳුනාගෙන සිටිනවා විය යුතුය.එසේ නොවන්නට එවකට සිටි රාජ්‍ය නායකයාගේ සම්බන්ධය නිසා ද යන්නත් තවමත් සිතා ගැනීමට නොහැකිය.මේ කාරණය සම්බන්ධයෙන් අසංග නිදහස් විය යුතුය.එසේත් නැත්නම් දඩුවම් ලැබිය යුතුය.ඒ දැන් සමාජයේ පැතිර යන රාවයන්ට අනුව ඔහු ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත්ව සභාපති වීමට උථ්සාහ කරන බවට පැතිර යන රාවය නිසාය.රජයේ පුවත්පත වන දිනමිණ ද පුවත්පත එය වාර්තා කර තිබිණ.
එසේම අසංගගේ පෞද්ගලික කීර්තියට හානි වන අන්දමේ චෝදනා ලෙස ඔහු සළකනු ලබන කාරණා කිහිපයක් ද එල්ල වී ඇති චෝදනා අතර වන්නේය.
Anilana Hotels & Properties PLC: ණය පියවීමට අපොහොසත් වීම නිසා සම්පත් බැංකුව සහ සීලාන් බැංකුව විසින් පරාටේ නීතිය යටතේ හෝටල් දේපළ අත්පත් කරගැනීමට කටයුතු කර ඇත. 2024 දී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමේ සිද්ධියක් නිසා සමාගම තුළ පාලන අර්බුදයක් ඇති විය.
කොටස් වෙළඳපොළ සීමාවන්: ඔහු සතු වූ Nation Lanka Equities ආයතනය (දැන් ACS Capital) මූල්‍ය රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම (SEC) මගින් නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමෙන් වළක්වා ඇත.
මේ චෝදනා සහ සිඳුවීම් පරීක්ෂන විමර්ශන සියල්ල අසංගගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණෙන් සිඳු වී ඇති බව ඔහු කීව ද ඒ සියල්ල තුළම එකම ස්වභාවයක් දකින්නට ලැබේය.අල්ලස් කොමිසම යටතට වැටී තිබෙන මිලියන 55 රගර් ගැටළුව ගත්ත ද රගර් සහ ඉන් පිටත සියල්ල යටතේ එල්ල වී ඇති චෝදනාවලින් පැහැදිළි වන්නේ විශ්වසනීය නොවන හැසිරීමක් සහ වංචනිකත්වයට සමීප ක්‍රියාවන්ය.
මේ නිසා මේ වගකිව යුතු රාජ්‍ය ආයතන අසංගව ක්‍රීඩාව සම්බන්ධයෙන් හෝ පවතින චෝදනාවලින් අසංගට නිදහස් වෙන්නට හෝ දඩුවම් ලබන්නට ඉඩ වහා විවෘත කර දිය යුතුය.ඔහු සමහර විට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට පැමිණියහොත් මේ කරුණු ජාත්‍යන්තරය ඉදිරියේ විමර්ශනයකට බඳුන් වීමට ඇති ඉඩ වැඩිය.එවිට ලෝකය ඉදිරියේ අසංග වරදකරුවෙකු වුවහොත් ඒ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටු සභාපතිවරයා හැටියටය.එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණත ප්‍රකාරව අමාත්‍යවරයා සහ අමාත්‍යංශයද ඊට වගකිව යුතු වන්නේය.ලෝක අපවාදය සමඟ සමස්ත ව්‍යහුය විසින් සභාපති තනතුරට ඉදිරිපත් වීමට පෙර පවතින චෝදනා නිවැරදිව කඩනමින් විභාග නොකර ඔලිම්පික් සභාපති තනතුරට ඉදිරිපත්වීමට අවසර දීම ගැන ලංකාවේ සමස්ත ක්‍රීඩාවම විඳවිය යුතුය.
සමහර විට නැවත විමර්ශනයකට සියල්ල යටත් කොට ශ්‍රී ලංකාව සිහින දකිමින් සිටින 2028 ඔලිම්පික් පදක්කම් දිනීම පසෙක දමා යම් කිසි කාලයකට රටට ඔලිම්පික් කමිටුවක් නැති වී යාමටද ඉඩ ඇත.
ඒ නිසා අසංග කියන පරිදි මේ සියළු චෝදනා (පවුම් 50000 ගෙවන්නට වීම,එය රගර් සංවර්ධනයට ලබා දෙන මුදලින් පියවීමනම් ක්‍රීඩා අමාත්‍යංශය හොඳින් දන්නා අතර කිහිප දෙනෙකුම වත්මන් අමාත්‍යවරයාට ද එම ලිපි ලේඛන පවා ඉදිරිපත් කර ඇත.) ඔහුගේ කිර්තිය ඉවසා දරා ගත නොහැකි පිරිසක් විසින් එල්ල කර ඇති ඒවානම්,ඒ අහිංසකයාට ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධූරයට යාම සඳහා එම පරික්ෂණ ඉක්මන් කර දිය යුතුය.එසේ නොවී ක්‍රීඩා කේෂ්ත්‍රය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වා ගොස් තිබෙන රගර් සහ බේස්බෝල් ක්‍රීඩා ගැන කටයුතුත්,පිටතින් ඇති චෝදනාවල කටයුතුත් වල ඇති සමාන බව සළකා ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට ද ඇත්ත මත පිහිටා කටයුතු කරන්නේම් අසංගට එම තනතුර සඳහා ඉල්ලීමට ඉඩ දිය නොහැකිය.මේ නිසා අල්ලස් කොමිසම මෙන්ම අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවද අසංගට සාධාරණයක් කරන්නට මෙන්ම ක්‍රීඩාවට අසාධාරණයක් නොවන්නට අඩුම තරමේ ඔහු සම්බන්ධයෙන් තම ආයතන සතුව තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සිඳු කර දිය යුතුය.
එම ආයතනවල මහත්තුරුන්ට අපට කියන්නට ඇත්තේ ක්‍රීඩාව කියන්නේ සෙල්ලමක් නොවේය.දේශපාලනික හිතවත්කම් ලෙංගතුකම් මත ඔහුට සභාපති දක්වා යාමට ඉඩ තිබුණත්,රටක ඔලිම්පික් සභාපතිවරයෙකු වූ පසුව මෙම චෝදනා ජාත්‍යන්තරයට ගොස් පරීක්ෂණ සිඳු කළහොත් ඒ අල්ලස් කොමිසමත්,අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවත් පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ කීර්තියට කැළලක් විය හැකිය.
ඒ නිසා අසංගට පුරවැසියෙකු ලෙස ඔහුගේ කීර්තිය විනාශ කිරීමේ චෝදනාවන් ලෙස සළකන චෝදනාවන්ගෙන් නිදහස්විමට මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්තියට ලෝක පරිමානයෙන් අත් විය හැකි අවමානයක් වේ නම් එයින් වැළකීමටත් කළ හැකිව ඇති හොඳම දේ අසංග සෙනවිරත්න සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ඉක්මන් කිරීමය.මේ තත්ත්වය මත අසංග ද ලංකාවේ ක්‍රීඩාවද යා යුතු මඟ නොපෙනෙන සහ සිතාගත නොහැකි තැනෙක අතරමංව සිටින බව පමණක් අප කියන්නෙමු.චිත්‍රය අදින කොළය පිරිසිදුව නොතිබුණහොත් චිත්‍රය අපැහැදිළි සහ අපිරිිසිදු විය හැකිය.ඒ නිසා තෙළිතඩ පිරිසිදු කිරීමේ වගකීම එහි වගකිවයුත්තන් ඉටු කළ යුතුය.අදින්නට ඇති චිත්‍රය ශ්‍රී ලංකාව බැවින් අපිරිසිදු විය හැක්කේ ශ්‍රී ලංකාව බව තේරුම් ගැනීම වැදගත්ය.





