ශාරීරික දඬුවම් අවසන් කරන්න රජය දුන් පොරොන්දුව පුස් වෙඩිල්ලක් ද? දරුවන් ඉදිරියට පැමිණ කියූ දේ මෙන්න!

ඉසුරු පරාක්‍රම

අප්‍රේල් 29, කොළඹ (LNW): සහිල් මනාන් (11) සහ ශෂ්‍යනූ මුණසිංහ (10) නම් දරුවන් දෙදෙනා විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය හමුවීමට ගියේ 2025 වසරේ පෙබරවාරි මස ය. ඒ ළමා ආරක්ෂණ සන්ධානය සමඟ ය.

මෙම හමුවීම පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මකවන ශාරීරීක දඬුවම් අවසන් කිරීම සඳහා වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ය.

මෙරට ළමා පුරවැසියන් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දී බලයට පැමිණි රජය මෙම මස මුල දී අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ 11/2026 මඟින් ශාරීරික දඬුවම් තහනම්කරන බවට පාසල්වලට දැනුම් දී තිබිණ. මෙම චක්‍රලේඛයේ දරුවන්ට එරෙහිව ශාරීරික දඬුවම් භාවිතා කරන ඕනෑම තැනැත්තකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට සඳහන් වී තිබුණ නමුත් එම නීතියේ පැවති අඩුපාඩු සාකච්ඡා කොට විසඳා ගැනීම මෙම හමුවීමේ පරමාර්ථය විය. මන්ද හුදෙක් චක්‍රලේඛයක් නිකුත්කළ පමණින් හා නීතිය වෙනස් වීමට ලක් නොවීමෙන් දරුවන් ආරක්ෂා වීමක් සිදු නොවේ.

2024 වසරේ නොවැම්බර් මස බොගෝටා අගනුවර පැවති දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුවේ දී ශ්‍රී ලංකාව පැහැදිලි පොරොන්දු හතරක් ලබා දුන් අතර, එයින් දෙකක සඳහන් වූයේ, 2025 වසර මැදවන විට ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා නීතිය වෙනස් කරන බවත්, ධනාත්මක විනය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමෙන් ආරක්ෂිත පාසල් නිර්මාණය කරන බවත් ය.

කෙසේවෙතත්, මේ වන තුරු මෙකී එකඳු පොරොන්දුවක්වත් ඉටු කිරීමට රජය සමත් නොවී තිබීම කණගාටුවට කරුණකි.

මෙම නිහඬතාව සලකා බලා එම දරුවන් දෙදෙනා විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක් යොමුකර ඇත. ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සැලකෙන අප්‍රේල් 30 වන දිනට සමගාමීව යොමුකර ඇති මෙම ලිපිය තුළින් ඔවුන් පෙන්වා දෙන්නේ, මීට ඉහත ඔවුන් අමාත්‍යවරිය හමු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මකවන ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ඇය ලබා දුන් පොරොන්දුව මෙතෙක් ඉටුව නැති බවයි.

මෙමඟින් තම පාසල් සගයන් දිගින් දිගටම පාසල්වල හිංසනයට පත්වන බව පෙන්වා දෙන සහිල් සහ ශෂ්‍යනූ දරු දෙපළ, තමා ඇතුළු දරු පරපුර මෙලෙස අවදානමට ලක්කිරීම සාධාරණ නොමැති බව සිය ලිපිය ඔස්සේ අවධාරණය කරති.

ශාරීරික දඬුවම් නිසා ඇතිවන කෙටි-කාලීන සහ දිගු-කාලීන හානිය නිසා 2025 අගෝස්තු මස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය බරපතල මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව සිහිපත් කරන එම දරුවන් දෙදෙනා, ශාරීරික දඬුවම් තහනම් කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම සහ ඉදිරි පරම්පරාවන්ට විශාල ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇති බවට යෝජනා කර සිටිති.

“සියලුම දරුවන්ට පහර කෑමට, තුවාල වීමට හෝ වෙනත් ආකාරයකින් හිංසනයට ලක්වීමට ඉඩ නොතැබිය යුතු බව අපි ප්‍රාර්ථනා කරනවා,” ඔවුහු සිය ලිපියේ සඳහන් කරති.

“අපි ශාරීරික දඬුවම්වලින් නිදහස් හින්දා ඒ ගැන විවෘතව කතා කරන්න පුළුවන්. ඒත් යාළුවන්ගේ සහ නෑදෑයන්ගේ අත්දැකීමෙන් අපි දන්නවා ගොඩක් ළමයින් එහෙම කතා කරන්න බයයි.”

“ලබාදුන් පොරොන්දු වගවීමෙන් ඉටු කරන ලෙස, ශ්‍රී ලංකාවේ සියලුම දරුවන් වෙනුවෙන් අපි ඔබට මතක් කර සිටිනවා,” යනුවෙන් සඳහන් කරමින් ඔවුන් පෝල්රාජ් අමාත්‍යවරිය වෙත යොමුකළ ලිපිය අවසානකර ඇත.

සම්පූර්ණ ලිපිය කියවන්න:

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙදි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය වෙත විවෘත ලිපියක්.

2026 අප්‍රේල් 30

ගරු අමාත්‍යතුමිය,

ඔබට අපව මතක ඇතැයි සිතනවා. 2025 පෙබරවාරි 28 දින ළමා ආරක්ෂණ සන්ධානය සමඟ අපි ඔබව හමුවුණා. ඒ ශ්‍රී ලංකාවේ පාසල්වල ශාරීරික දඬුවම් අවසන් කිරීම ගැන කතා කිරීමට. එදා ගත්තු මේ පිංතූරෙ ඔබේ මතකය අලුත් කරාවි.

අපේ රටේ ළමා පුරවැසියන් ආරක්ෂා කිරීම අලුතෙන් පත්වුනු රජයේ වගකීමක් බව ඔබ අපට පොරොන්දු වුනා. මේ මස මුලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ 11/2026 මගින් ශාරීරික දඬුවම් තහනම් බව පාසල්වලට දැනුම් දීම ගැන අපි සතුටු වුනා. 

ළමයින්ට එරෙහිව ශාරීරික දඬුවම් භාවිතා කරන ඕනෑම කෙනෙකුට නීතිය අනුව කටයුතු කරන බවත ඒ චක්‍රලේඛයේ කියලා තිබුනා. නමුත් නීතියේ හිඩැස් තියෙනවා. අපි ඔබව හමුවුනු අවස්ථාවෙ නීතිය වෙනස් කරන්න ඉල්ලුවේ ඒ නිසා. නීතිය වෙනස් නොකළොත්, චක්‍රලේඛයෙන් විතරක් පාසල් වල ළමයින් ආරක්ෂා වෙන්නෙ නෑ.

2024 නොවැම්බර් මාසයේ බොගෝටා අග නුවර පැවති දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව පැහැදිලි පොරොන්දු හතරක් දුන්නා. එයින් දෙකක්, 2025 වසර මැද වන විට ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා නීතිය වෙනස් කිරීමටත්, ධනාත්මක විනය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමෙන් ආරක්ෂිත පාසල් නිර්මාණය කිරීමටයි. මෙය ඔබගේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද පල කරල තියෙනවා.

නමුත් අපිට හරිම කණගාටුයි මේ පොරොන්දු තවමත් ඉටු කරලා නැති නිසා අපේ යාලුවො දිගින් දිගටම පාසල්වල හිංසනයට පත් වෙනවා. ශාරීරික දඬුවම් නිසා ඇතිවන කෙටි කාලීන සහ දිගු කාලීන හානිය නිසා 2025 අගෝස්තු මාසයෙදි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය බරපතල මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රකාශයට පත් කලා. අපේ යාලුවන්ව තව දුරටත් අවදානමට ලක් කිරීම සාධාරණ නැති බව ඔබ එකඟ වෙනවා ඇති.

ශාරීරික දඬුවම් තහනම් කිරීම අපේ රටේ හැමෝටම සහ ඉදිරි පරම්පරාවන්ට විශාල ධනාත්මක බලපෑමක් ඇති කරාවි. සියලුම දරුවන්ට පහර කෑමට, තුවාල වීමට හෝ වෙනත් ආකාරයකින් හිංසනයට ලක්වීමට ඉඩ නොතැබිය යුතු බව අපි ප්‍රාර්ථනා කරනවා.

අපි ශාරීරික දඬුවම්වලින් නිදහස් හින්දා ඒ ගැන විවෘතව කතා කරන්න පුළුවන්. ඒත් යාළුවන්ගෙ සහ නෑදෑයින්ගෙ අත්දැකීමෙන් අපි දන්නවා ගොඩක් ළමයින් එහෙම කතා කරන්න බයයි. ඒ නිසා, 2024 ලබාදුන් පොරොන්දු වගවීමෙන් ඉටු කරන ලෙස, ශ්‍රී ලංකාවෙ සියලුම දරුවන් වෙනුවෙන් අපි ඔබට මතක් කර සිටිනවා. 

ස්තූතියි,

මෙයට විශ්වාසි,

සහිල් මනාන් (අවුරුදු 11) සහ ශෂ්‍යනූ දීඝායු මුණසිංහ (අවුරුදු 10)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...