ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව සහ හිටපු බලශක්ති අමාත්ය, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර ජයකොඩි මහතාට එරෙහිව 2009 වසරේ සිට ගල් අඟුරු ප්රසම්පාදනයේදී සිදුවූ අක්රමිකතා සෙවීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත්ව තිබේ.
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසිනුත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා විසිනුත් ඊයේ (14) දිනයේදී මෙම පැමිණිලි ඉදිරිපත් කරන ලදී.
ටිල්වින් සිල්වා මහතාට එරෙහිව පැමිණිලි කළ සුගීෂ්වර බණ්ඩාර මහතා තම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“මේ කොමිෂන් සභාවට අධිකරණ බලය තිබෙනවා. එහෙම පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත්කරලා සති දෙකයි ගියේ, ජනාධිපතිතුමාගෙ පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහත්තයා තංගල්ලේ මැයි දින වේදිකාවේදී කියනවා මාස තුනකින් මේ කොමිෂන් එකේ වාර්තාව එළියට එනවා, ඒකෙන් ආණ්ඩුවේ අපි නිදහස් වෙනවා, විපක්ෂයේ කීපදෙනෙක්ට හිරේ යන්න වෙනවා කියලා. මේක අධිකරණයට කරපු බරපතළ අපහාසයක්. අද පැලවත්තේ බංකරයක් ඇතුළේ ඉඳගෙන රටේ විධායකය මෙහෙයවන්නෙත් ටිල්වින්, රටේ ව්යවස්ථාදායකය මෙහෙයවන්නෙත් ටිල්වින්, රටේ උත්තරීතර ස්වාධීන අධිකරණයටත් අද මේ ටිල්වින් සිල්වා බලපෑම් කරමින් ඉන්නවා කියන එක අද අපට සක්සුදක් සේ පැහැදිලියි. ඒ නිසා 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ ඔහුව මේ කොමිෂන් සභාවට කැඳවලා, ඔහුගෙන් ප්රකාශයක් සටහන් කරගෙන ඔහුව අත් අඩංගුවට ගන්න කියලා අද අපි මේ කොමිෂන් සභාවේ ලේකම් බන්දුලසේන මහත්තයාගෙන් ඉල්ලීමක් කළා. බන්දුලසේන මහත්තයා පවා පිළිගත්තා මේ කොමිෂන් සභාවේ තිබිච්ච ස්වාධීනත්වයට, මේ විනිසුරුවරුන්ගේ තිබිච්ච ආත්ම ගරුත්වයට අපක්ෂපාතීත්වයට මේ ටිල්වින් සිල්වා කියන පුද්ගලයා කරපු ප්රකාශය බරපතළ ගැටලුවක් කියලා”
එක්සත් ජනරජ පෙරමුණේ පාඨලී චම්පික රණවක මහතා තමන් ඉදිරිපත් කළ පැමිණිලි දෙක සම්බන්ධයෙන් මාධ්ය වෙත මෙසේ පැවසීය.
“ප්රධාන වශයෙන්ම 2025 / 26 වකවානුවේ බාල ගල් අඟුරු සැපයීම නිසා ඇතිවෙලා තියෙන මූල්යමය හානිය සහ බලශක්ති පද්ධතියට සිදුවෙලා තියෙන විනාශය ගැනත්, ඒ වගේම 2009 සිට සිදුවෙච්ච ගල් අඟුරු ප්රසම්පාදනය පිළිබඳවත් අපි පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා. අද ගල් අඟුරු නැව් දෙකක් බාගන්න බැරිව මහ මුහුදේ නවත්වලා තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්රීවරු 2008 ඒවා හොයහොයා දේශපාලන මඩගැසීමේ ව්යාපාරයක නියැළිලා ඉන්නවා. මේ කාරණය සම්බන්ධයෙන් පැමිණිල්ල කළේ අපි. විත්තිකරු තමයි රජය. ඒ වෙනුවට ඔවුන් මේ අපිව විත්ති කූඩුවට නංවන්න හදන එක ගැනත් අපි බොහොම පැහැදිලිව ප්රකාශ කළා”


