අවිනිශ්චිතයි කිව්වේ ලෝක තත්වයයි. මගේ ප්‍රකාශය වැරදියට අර්ථකථනය කරලා – මහබැංකු අධිපති

තමන් පසුගියදා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරකසභාවේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් එක්තරා පුවත්පතක් ‘අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි’ මැයෙන් ශීර්ෂපාඨයක් පළකර ඇති බවත් එය තමන් විසින් ලෝක තත්වයට අදාළව කරන ලද ප්‍රකාශයක් මිස ශ්‍රී ලංකාවට පමණක් හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෝ කරන ලද ප්‍රකාශයක් නොවන බවත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“ගිය සතියේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරකසභාවේ සිදුවෙච්ච සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිංහල පුවත්පතක අද සිරස්තලයක් පළවෙලා තියෙනවා මහබැංකු අධිපතිවරයා කිව්වා කියලා ‘අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි’ කියලා ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය පදනම් කරගෙන සමාජ මාධ්‍යවල හැමතැනම සංසරණය වෙලා තියෙනවා අද දවසේ. ඒ නිසා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි.

පළවෙනියෙන්ම කියන්න ඕනෙ මම ඒ කරපු ප්‍රකාශය ඉතාම වැරදි විදියට අර්ථකථනය කරලා සිරස්තලයක් පළකරලා තියෙන්නෙ ඒ පුවත්පත විසින්. මම කිව්වා කියලා ‘අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි’ කියලා. අපි දැනටමත් ඒ පුවත්පතට ලිපියක් යැව්වා ඒ පුවතේ සිරස්තලය පාඨකයින් නොමග යවනසුළු එකක් බවත් මහබැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කළේ පවතින වාතාවරණය යටතේ මුළු ලෝකයටම බලපා ඇති තත්වය සැලකිල්ලට ගෙන වන අතර එය ශ්‍රී ලංකාවට පමණක් හෝ ශ්‍රී ලංකාව ගැන කරපු ප්‍රකාශයක් නොවන බවත් දැනුම්දීලා මේක නිවැරදි කරන්න කියලා. මං හිතන්නෙ මේක අත්වැරදීමක් වෙන්න පුළුවන්. මේක ඉංග්‍රීසියෙන් කරපු ප්‍රකාශයක් සිංහලට පරිවර්තනය කරද්දී ඒක පැහැදිලිව පරිවර්තනය කරගැනීමට නොහැකි වීම නිසා සිදුවුණු දෙයක් වෙන්න පුළුවන්. වගකිවයුතු පුවත්පතක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ නිවැරදිකිරීම ඒ සිරස්තලය පළකළ ආකාරයෙන්ම කරයි කියලා. එහෙම නැතිව වෙන පිටුවක පොඩිවට නිවැරදිකිරීම දැම්මොත් මේක හිතාමතාම ජනතාව නොමග යැවීමට කළ දෙයක් කියලා ජනතාවට පෙනෙනවා.

විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනෙ, එදා රවුෆ් හකීම් මහතා සභාපති හැටියට ඒ සාකච්ඡාවේදී මතුකළා ලෝකයේ ඉන්දියාව ඇතුළු විවිධ රටවල මේ තෙල් මිල වැඩිවීම නිසා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ, ඉදිරියේදී ලෝක ආර්ථිකය සහ තෙල් මිල තත්වය අවිනිශ්චිත නිසා. අපිත් ඒ වගේ දේවල් කළයුතුයි කියලා වගේ යෝජනාවක් එතුමා කළා. එතකොට මම සඳහන් කළා ඒක නිවැරදි යම්කිසි අදහසක්. මොකද කිසිම කෙනෙක්ට ලෝක ආර්ථිකය, යුද්ධය, තෙල් මිල සහ ඉදිරියේදී කොයි දිශාවටද යන්නෙ කියන එක අවිනිශ්චිතයි. එහෙම අවිනිශ්චිතතාවක් තියෙනකොට ඒ අවස්ථාවේදී රජයක් වශයෙන් කරන්න පුළුවන්, මහබැංකුව වශයෙන් කරන්න පුළුවන් පෙර සූදානම කිරීමෙන් තමයි අවදානම අඩුකරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම එතැනදී සඳහන් කරලා තියෙන්නෙ. නමුත් ඒ හරය වෙනුවට වෙනත් අදහසක් මතුවෙන විදියට තමයි මේ පුවත්පත වාර්තා කරලා තියෙන්නෙ”

නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහබැංකුවේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...