ඉදිරි වසර තුන තුළ හෙද සේවාවට නව බඳවාගැනීම් 13 600ක්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ඉදිරි වසර තුනක කාලය තුළ මෙරට හෙද සේවාව සඳහා නව පිරිසක් ලෙස දහතුන් දහස් හයසියයක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාව තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම බඳවාගැනීම අදියර කිහිපයක් යටතේ සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කරන ලද රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (14) එක්වෙමින් එහි දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමස්ථ සෞඛ්‍ය සේවාව විවිධ අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන නමුත්, එම තත්ත්වයන් අවම කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය විසින් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. හෙද සේවාව සඳහා බඳවා ගැනීමට නියමිත පිරිසෙන් සියයට 50ක් මෙම වසර තුළම බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, යෝජිත හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ හෙද පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය. දැනට හෙද විදුහල් සහ විශ්ව විද්‍යාල මට්ටමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ හෙද හෙදියන් බඳවා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙම වසර තුළ හෙද විදුහලේ පුහුණුව සඳහා සිසුන් 3,000ක් බඳවා ගන්නා අතර, මෙම මාසය අවසන් වන විට බඳවා ගැනීම් අවසන් කර පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රසායන සේවා විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා, පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය පරාක්‍රම විජයකෝන් මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...