වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 154ක් යැයි තමන් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවත් වර්තමානයට සාපේක්ෂව එම ගණනය කිරීම අදාළ නොවන බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
“දැන් ඔය රුපියල් 150 කතාවක් කියනවානෙ මේ මම කිව්වායි කියලා. ඔව්, මම කිව්වා රුපියල් 154කට ආසන්න පිරිවැයක් යනවා වී කිලෝ එකක් නිෂ්පාදන වියදම, ඒ කාලෙට අදාළව මම ඒක කිව්වෙ. ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, මහින්ද රාජපක්ෂ අගමැති. පොහොර තහනම් කළා. දැන් ඔය පොහොර නොමිලේ දුන්නා, පොහොර 350 ට දුන්නා කියලා තව පැත්තකින් තර්කයක් කරනවානෙ, ඒගොල්ලොම තමයි මේ පොහොර තහනම් කළේ. අන්න ඒ කාලෙ පොහොර මිටිය ගියා රුපියල් 40,000 – 50,000 ට. ඊටපස්සෙ ට්රැක්ටර් ගාස්තු අනං මනං එව්වා ටිකත් වැඩිවුණා. ඕකත් එක්ක අස්වැන්න අඩුවුණා. එතකොට නිෂ්පාදන වියදම ගණන් බැලුවාට පස්සේ 150ක් වැටුණා. ඕක තමයි අපි එදා කිව්වෙ එදා නිෂ්පාදන වියදමට සාපේක්ෂව. ඒක මේ අදට සාපේක්ෂව කියපු එකක් නෙවෙයි. වී වලට අපි සාධාරණ මිලක් ලබාදුන්නා පහුගිය කන්නවල. මේ කන්නයේ යම් ගැටලුකාරී තත්වයක් නිර්මාණය කරලා තියෙනවා, මේ තත්වය ආවෙ මේ යුද්ධයත් එක්කනෙ”
නාමල් කරුණාරත්න නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) කුරුණෑගල ප්රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


