පොත් පිටු අතර සැඟවුණු ළමා කාලය දෘශ්‍ය මාධ්‍යක් ඔස්සේ හරි රහට; Little House on the Prairie ඔන්න! Netflix වෙතින්!

සටහන – පුලී

ජූලි 10, LNW (කොළඹ): ළමා කාලයේ සවසක, පොතක් අතට ගෙන ලෝකයෙන් ටික වේලාවකට ඈත් වී වෙනත් යුගයකට ගිය මතක ඔබටත් ඇති. මටත් එවැනි මතක තිබේ. එකළ පුංචි ගැහැණු ළමයෙකු ලෙස, වැසි දවසක හෝ පාසල් නිවාඩුවක, කතන්දර පොත් අතර සැඟවී සිටි කාලය අදටත් හිතට උණුසුමක් ගෙන එයි.

එවැනිම ආදරණීය මතක අතරින් එකක් වන්නේ Laura Ingalls Wilderගේ “Little House” පොත් මාලාවයි. 1930 දශකයේ මුල්වරට ප්‍රකාශයට පත් වූ මෙම පොත්, ඇගේම ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් ඇමරිකානු ප්‍රදේශයේ (American frontier) ජීවිතය පිළිබඳ ලියැවුණු අමරණීය කතා මාලාවකි. එදා අප වැනි දුර රටක සිටි දරුවන්ට පවා Laura, Mary, Ma සහ Pa Ingalls අපේම පවුලේ අය වගේ සමීප වූහ.

දැන් එම ආදරණීය ලෝකය නව පරපුරකට ගෙන එමින් Netflix විසින් “Little House on the Prairie” නව අනුවර්තනයක් ලෙස නැවත අප හමුවට ගෙනවිත් තිබේ. Season 1 මේ වන විට Netflix ඔස්සේ නැරඹිය හැකිය.

මෙවර කතාව පරණ මතකයන් පමණක් නැවත කියන එකක් නොවේ. Laura Ingalls Wilderගේ පොත් වල ආත්මය රැකගෙන, නව පරපුරට ගැලපෙන ලෙස නිර්මාණය කළ මෙම කතා මාලාව පවුලේ ආදරය, අභියෝග හමුවේ නොසැලෙන ශක්තිය සහ ඇමරිකානු බටහිර ප්‍රදේශය ගොඩනැගූ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ගැන කියයි.

Laura ලෙස Alice Halsey රංගනයෙන් එක්වන අතර, මෙම නව නිර්මාණය පවුල් නාට්‍යයක්, ජීවිතය බේරාගැනීමේ අභියෝගවලින් පිරුණු විශාල ගමනක් සහ ඇමරිකානු ඉතිහාසයේ ආරම්භක කතාන්දරයක් ලෙස ඉදිරිපත් වේ. Netflix දැනටමත් දෙවන වාරය සඳහාත් මෙම කතා මාලාව අලුත් කර ඇති බව වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ විශාල සිදුවීම්වලට වඩා, පවුලක් අතර ඇති කුඩා නමුත් වටිනා මොහොතන්ය. එකට ආහාර ගැනීම, ගිනි මැලයක් අසල හිඳ කතා කියීම, අමාරු කාලවලදී එකිනෙකාට ශක්තියක් වීම – මේ සියල්ල අද කාලයේ වේගවත් ජීවිතය තුළ අපට නැවත මතක් කර දෙන්නේ සරල දේවල්වල ඇති විශාල වටිනාකමයි.

කතා මාලාවේ නිෂ්පාදකවරිය වන Rebecca Sonnenshine පවසන්නේ මෙය මූලිකවම පවුලක් පිළිබඳ ආදර කතාවක් බවයි. “ඔබ සමඟ කාලය ගත කිරීමට කැමති, දැන හඳුනා ගැනීමට කැමති පවුලක්” ලෙස ඇය Ingalls පවුල විස්තර කරයි. ඔවුන් එකිනෙකා සමඟ කතා බෙදාගන්නා, තමන්ගේ ජීවිත කතා තුළින් බැඳී සිටින පවුලකි.

බොහෝ අයවලුන් ට මෙවැනි පොත් කියවීමෙන් ලැබුණු අත්දැකීම අමතක කළ නොහැක. Lauraගේ කුඩා නිවස, ඇයගේ සොහොයුරියන් සමඟ ඇති සබඳතාව, මවගේ ආදරය සහ පියාගේ ධෛර්යය – ඒවා ඇමරිකාවේ හිම වැටෙන ප්‍රදේශයක සිදු වූවත්, අපේ ගෙවල්වල ඇති පවුල් උණුසුමට බොහෝ සමාන විය.

අද Netflix හරහා “Little House on the Prairie” නැවත පැමිණීම යනු නව කතාවක් නැරඹීමක් පමණක් නොවේ. එය අපේ ළමා කාලයේ පොත් පිටු අතර සැඟවී තිබූ සුන්දර මතක නැවත අවදි කිරීමකි. කාලය වෙනස් වුවත්, පවුල, ආදරය, බලාපොරොත්තුව සහ එකිනෙකා වෙනුවෙන් සිටීම වැනි වටිනාකම් කිසිදා පරණ නොවේ.

ඉතින්, ඔබත් කවදා හෝ Laura Ingallsගේ ලෝකයට ගිය කෙනෙක් නම්, මේ නව ගමන ඔබට පැරණි මිතුරෙකු නැවත හමුවීමක් වැනි හැඟීමක් ගෙන දෙනු ඇත. පොතකින් ආරම්භ වූ පුංචි ගෙදරක කතාව, අද තිරය මත නැවතත් විශාල ලෝකයක් බවට පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...