මැලේසියානු වෙරළට ඔබ්බෙන් සිදුවන රහසිගත තෙල් වෙළඳාමක්…

රෂිකා හෙන්නායක ජූලි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සම්බාධක සහ අවහිර කිරීම් පරදා ඉරාන තෙල් ලෝකයට යන හැටි

පසුගිය සෙනසුරාදා, මීටර් 330ක් දිගැති ‘Humanity’ නමැති දැවැන්ත ඉරාන තෙල් නැව මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර මැලේසියානු වෙරළ දෙසට හැරුණු බව වාර්තා වේ, එහෙත්, මැලේසියාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවට ඇතුළු වූ සැණින් මෙම නෞකාවේ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) අක්‍රිය වූ අතර, එය ලුහුබැඳීමේ පද්ධතිවලින් හිටිහැටියේම අතුරුදහන් විය. එය ලෝකයේ වඩාත්ම රහසිගත තෙල් වෙළඳාමක් සිදුවන “Eastern Outer Port Limits” (EOPL) නමැති අළු කලාපීය (Grey Zone) වෙළඳපොළට ඇතුළු වීමේ සංඥාවයි. ජාත්‍යන්තර සම්බාධක පවා අභියෝගයට ලක්කරමින් සිදුවන මෙම රහසිගත ගනුදෙනුවල කේන්ද්‍රස්ථානය බවට අද වන විට මැලේසියානු වෙරළට ඔබ්බෙන් වූ මෙම මුහුදු සීමාව පත්ව ඇත.

EOPL ලෙස හැඳින්වෙන මෙම කලාපය දකුණු චීන මුහුදේ පිහිටි වර්ග කිලෝමීටර් 1,200ක පමණ දැවැන්ත සාගර වපසරියකි. මෙය විශාලත්වයෙන් හොංකොං රාජ්‍යයට සමාන වන අතර, සම්බාධක පනවා ඇති ඉරාන, රුසියානු සහ වෙනිසියුලානු තෙල් සඳහා වූ නිල නොවන ප්‍රධානතම වෙළඳපොළක් ලෙස ක්‍රියා කරයි.

මෙම ස්ථානයේ ඇති “නීතිමය හිඩැස” (Jurisdictional gap) ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට මහෝපකාරී වේ. EOPL කලාපය මැලේසියාවේ ප්‍රාදේශීය මුහුදු සීමාවෙන් පිටත පිහිටා ඇති නමුත්, එය එරටේ “සුවිශේෂී ආර්ථික කලාපය” (EEZ) තුළ පවතී. මෙම අපැහැදිලි තත්ත්වය හේතුවෙන් මැලේසියානු වෙරළාරක්ෂක බලකායට එහි පාලන කටයුතු සිදුකිරීම අතිශය දුෂ්කර වී ඇත. සාමාන්‍ය දිනකදී මෙම කලාපය තුළ නෞකා 200ක් පමණ නැංගුරම් ලා තිබෙනු දැකිය හැකි අතර, විශේෂඥයින් පවසන්නේ ඉන් අඩක්ම ඉරානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන නෞකා බවයි.

නෞකා තම අනන්‍යතාවය සැඟවීම සඳහා AIS පද්ධතිය අක්‍රිය කිරීම “අඳුරට යාම” ලෙස හැඳින්වේ. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සීලයිට් (SeaLight) ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ රේ පවෙල්ට අනුව, මේ වසරේ ආරම්භයේ සිට පමණක් ව්‍යාජ හෝ අක්‍රිය කරන ලද අනන්‍යතා භාවිතා කරමින්, ගල්ෆ් කලාපය, EOPL, හොංකොං සහ උතුරු චීනය අතර සැරිසැරූ නෞකා 62ක් හඳුනාගෙන ඇත.

පසුගිය මාසය තුළ පමණක් ‘Humanity’ ඇතුළු ඉරාන ධජය සහිත තෙල් නැව් 18ක් EOPL කලාපයට පැමිණ මෙසේ “අඳුරට” ගොස් ඇති අතර, ‘Dore’ නමැති තවත් ඉරාන නැවක් මෑතකදී එහි සිට මැදපෙරදිග දෙසට යාත්‍රා කරනු දක්නට ලැබුණි. තෙල්වල සැබෑ මූලාරම්භය වසන් කිරීම සඳහා (Origin-laundering) නැවෙන් නැවට තෙල් හුවමාරු කිරීම (Ship-to-Ship transfers) මෙහිදී බහුලව සිදුවේ.

මෙම රහසිගත තෙල්වල ප්‍රධානතම ගැනුම්කරුවන් වන්නේ චීනයේ “ටීපොට්” (Teapot) ලෙස හැඳින්වෙන කුඩා පරිමාණයේ ස්වාධීන පිරිපහදු මධ්‍යස්ථානයි. සිනොපෙක් (Sinopec) හෝ CNOOC වැනි චීන රජයට අයත් දැවැන්ත සමාගම් මෙන් නොව, මෙම කුඩා පිරිපහදු ඇමරිකානු මූල්‍ය පද්ධතියට නිරාවරණය වී ඇත්තේ ඉතා අඩුවෙනි. එමගින් ඇමරිකානු සම්බාධකවලට හසුවීමේ අවදානමකින් තොරව සහන මිලට තෙල් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. මෙය ගෝලීය බලශක්ති අර්බුද හමුවේ චීන ආර්ථිකයට වැදගත් “ආරක්ෂිත පියවරක්” (Cushion) ලෙස ක්‍රියා කරයි.

චීන රේගු දත්ත දෙස බැලීමේදී තෙල්වල ප්‍රභවය විකෘති කිරීමේ (Origin-laundering) ක්‍රියාවලිය මනාව පැහැදිලි වේ. පසුගිය වසරේ ඉරානය දිනකට බොරතෙල් බැරල් මිලියන 1.4ක් චීනයට අපනයනය කර තිබුණද, චීන රේගු වාර්තා සඳහන් කරන්නේ ඉරානයෙන් කළ ආනයනයන් ‘ශුන්‍ය’ බවයි.

ඒ වෙනුවට, චීනය මැලේසියාවෙන් කළ තෙල් ආනයනය විශාල ලෙස ඉහළ ගොස් ඇත. මෙහි ඇති විශේෂත්වය නම්, චීනය මැලේසියාවෙන් ආනයනය කළ බව පවසන තෙල් ප්‍රමාණය මැලේසියාවේ සැබෑ නිෂ්පාදන ධාරිතාවට වඩා බෙහෙවින් වැඩි වීමයි. මෙයින් තහවුරු වන්නේ EOPL කලාපයේදී “ප්‍රභවය විකෘති කළ” ඉරාන තෙල්, මැලේසියානු තෙල් ලෙස ව්‍යාජ ලේබල් යටතේ චීනයට ගලා යන බවයි.

බැංකු සම්බාධක මග හැරීම සඳහා මෙම වෙළඳාමේදී SWIFT ජාලය භාවිතා නොකෙරේ. ඒ වෙනුවට චීනයේ දේශසීමා අතරමැදි ගෙවීම් පද්ධතිය සහ චීන යුආන් මුදල් ඒකකය භාවිතා කරනු ලැබේ. මෙම රහසිගත ජාලයේ ශක්තිමත්භාවය කෙතරම්ද යත්, අප්‍රේල් 13 සිට ජූනි 18 දක්වා සහ නැවතත් ජූලි 14 සිට ක්‍රියාත්මක වූ ඇමරිකානු නාවික අවහිර කිරීම්මධ්‍යයේ වුවද මෙම තෙල් වෙළඳාම බාධාවකින් තොරව සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...