සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (31) රාත්‍රියේදී අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා රැගෙන යනු ලැබිණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඊයේ පස්වරුවේ මෙසේ දඬුවම් නියම කරනු ලැබිණි.
මෙම නඩුව විභාග කෙරුණේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ය.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේදී විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කළ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බැවින් ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව සඳහන් කර තිබිණි.


