ශ්රී ලංකා රේගුව භාරයට ගන්නා ලද වාහන 437ක් වසර අටකට අධික කාලයක් නිසි කළමනාකරණයකින් තොරව විවිධ අංගනවල රඳවා තැබීම හේතුවෙන් ඒවා දැඩි ලෙස දිරාපත්ව, අවම වෙන්දේසි වටිනාකම පවා අහිමි වීමේ තත්ත්වයකට පත්ව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
මෙසේ දීර්ඝ කාලයක් ගාල් කර තිබූ වාහන අතුරින් වැඩි ප්රමාණයක් මේ වන විට ධාවන තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව පවතින බවයි රේගු දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන නිරීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ.
විගණන වාර්තාව අනුව අදාළ වාහන 437 රඳවා තබාගෙන ඇත්තේ ප්රධාන ස්ථාන දෙකකය. ඒ, මට්ටක්කුලිය පරිශ්රයේ වාහන 329ක් සහ රුහුණුපුර පරිශ්රයේ වාහන 108ක් වශයෙනි. මට්ටක්කුලිය පරිශ්රය යනු රේගුව විසින් පෞද්ගලික සමාගමකින් ලබාගත් ඉඩමකි. හම්බන්තොට රුහුණුපුර ජාත්යන්තර වරාය භූමියේ අනෙක් වාහන 108 ගාල්කර ඇත. මෙම වාහන වසර ගණනාවක් මුළුල්ලේ අව්වට සහ වැස්සට නිරාවරණය වෙමින් එළිමහන් බිම්වල පැවතීම හේතුවෙන්, ලෝහ කොටස් විඛාදනයට ලක්වීම, අභ්යන්තර උපාංග විනාශ වීම ඇතුළු දැඩි භෞතික හානියක් සිදුව ඇති බවත් විගණන වාර්තාවේ සඳහන්.
රේගු ආඥා පනතේ 109 වගන්තියට ප්රකාරව, භාරයට ගත් හෝ රාජසන්තක කළ භාණ්ඩ සම්බන්ධයෙන් නියමිත කාලසීමාවන් තුළ සුදුසු නීතිමය හා පරිපාලනමය ක්රියාමාර්ග ගැනීම අනිවාර්ය වන නමුත් අදාළ නීතිමය විධිවිධාන නිසි වේලාවට ක්රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වාහන සම්බන්ධයෙන් තීන්දු ගැනීම ප්රමාද වී ඇති බවත්, එහි ප්රතිඵලයක් ලෙස රජයට සාධාරණ වෙන්දේසි ආදායමක් උපයා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වෙමින් පවතින බවත් ජාතික විගණන කාර්යාලය නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව, රාජ්ය ආදායම් සුරක්ෂිත කිරීම සහ රාජසන්තක භාණ්ඩ කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන්, අනාගතයේදී මෙවැනි අලාභයන් වැළැක්වීම සඳහා නීතිමය නිරවුල් කිරීම් කඩිනම් කිරීම සහ විනිවිදභාවයකින් යුතු කඩිනම් වෙන්දේසි ක්රියාවලියක් හඳුන්වා දීමේ අවශ්යතාව ද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.


