රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ LNW :
අද (30) අලුයම ඇහැලියගොඩ ප්රදේශයේදී තියුණු ආයුධයකින් එල්ල කළ ප්රහාරයකින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි. මියගිය සිසුවා ඇහැලියගොඩ ජාතික පාසලේ උසස් පෙළ සිසුවෙකි.
මූලික විමර්ශනවලට අනුව, මෙම සිද්ධියට හේතු වී ඇත්තේ ඊයේ (29) සවස් කාලයේ ආරපොල පාසල් හන්දිය අසලදී තරුණයෙකු තරුණියන් දෙදෙනෙකු සමඟ කතා කරමින් සිටියදී වෙනත් පුද්ගලයෙකු විසින් එම දර්ශන වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකි.
සැකකරු අද අලුයම සිසුවාගේ නිවසට ගොස් තියුණු ආයුධයකින් ඔහුට පහර දී ප්රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
බරපතල තුවාල ලැබූ සිසුවා ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණු නමුත් පසුව ඔහු මියගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


