සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 03 : ඉරානය විසින් එල්ල කළ බව කියන ප්රහාරයකින් සෞදි අරාබියට අයත් තෙල් ප්රවාහන නෞකාවක සේවය කළ පිලිපීන නාවිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞදි අරාබිය පවසයි.
සෞදි ජාතික නාවික සමාගම වන Bahri සතු Sidr නමැති සුපිරි තෙල් ප්රවාහන නෞකාව අගෝස්තු 31 වනදා රාත්රියේ හෝමුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී ආරක්ෂක සිද්ධියකට මුහුණ දී තිබේ.
Bahri සමාගම පවසන්නේ එම සිද්ධියෙන් තම පිලිපීන නාවිකයන් දෙදෙනෙකු මියගිය බවයි. නෞකාවට ප්රහාරයක් එල්ල වූ බවට සමුද්රීය ආරක්ෂක ආයතනද තොරතුරු වාර්තා කර තිබේ.
සෞදි විදේශ අමාත්යාංශය මෙම සිද්ධිය ඉරානය විසින් Sidr නෞකාවට එල්ල කළ ප්රහාරයක් ලෙස හඳුන්වා දී එය දැඩි ලෙස හෙළා දැක තිබේ.
කෙසේ වෙතත්, ඉරානය මෙම ප්රහාරයේ වගකීම පිළිගෙන නොමැත. ඉරාන පාර්ශ්වය මීට පෙර සඳහන් කර තිබුණේ නෞකා දෙකක් අනවසර මාර්ගයකින් ගමන් කිරීමේදී බෝම්බවලට ගැටීමෙන් ගිනිගත් බවයි.

