කොළඹ LNW:ඉන්දීය රජයේ ආධාර ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දු-ශ්රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සඳහා බලශක්ති අමාත්යංශයේදී අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවේදී දෙපාර්ශවයම යෝජිත අවබෝධතා ගිවිසුමේ පවතින ගැටළුකාරී තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති අතර පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා සාර්ථක එකඟතාවන්ට පැමිණ ඇත.
කන්කසන්තුරේ වරාය සංවර්ධන ව්යාපෘතිය ක්රියාත්මක වීමත් සමඟ දෙරට අතර මඟී ප්රවාහන සේවාවන් මෙන්ම භාණ්ඩ ප්රවාහනය ද වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට අවස්ථාව උදා වන අතර ව්යාපෘතියේ කටයුතු ක්රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම පිණිස ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවක් සහ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී යෝජනා වී ඇත.
ඒ අනුව සාකච්ඡාවේ ප්රගතිය ඉක්මනින් ඉන්දීය රජයට ඉදිරිපත් කර අවසාන තීරණය කඩිනමින් ලබාදීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟතාව පළ කර ඇති බව සඳහන්.
මෙම ව්යාපෘතිය මඟින් ඉන්දියාව සහ උතුරු ශ්රී ලංකාව අතර සමුද්රීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, උතුරු ප්රදේශයේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කලාපීය ආර්ථික ක්රියාකාරකම් ඉහළ නැංවීම අපේක්ෂා කරයි.
අමාත්යවරයා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී කන්කසන්තුරේ වරායේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කරමින් මෙම ව්යාපෘතිය ඉක්මනින් ආරම්භ කිරීමට අවශ්ය මඟපෙන්වීම් ලබා දී තිබූ අතර, ඉදිරි කෙටි කාලයක් තුළ අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.
පැවැති මෙම හමුව සඳහා, ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජ්ය ඉන්දීය මහකොමසාරිස් මෛත්රී කුල්කර්නි මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව ඇත.
මීට අමතරව නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල, වරාය අධිකාරියේ සභාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වී ඇත.


