වතුකරයේ කාන්තාවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ වතුකරයේ ආර්ථික දේහය දශක ගණනාවක් තිස්සේ වෙළාගෙන තිබුණේ දෛනික කුලී ශ්‍රමය මත පදනම් වූ, හෙට දිනය පිළිබඳ නිශ්චිත බලාපොරොත්තුවක් නොමැති සාම්ප්‍රදායික ජීවන රටාවකි. විශේෂයෙන්ම වතුකරයේ කාන්තාවන් සහ තරුණ පිරිස මෙම ක්‍රමය තුළ ආර්ථිකයේ ආන්තිකයටම තල්ලු වී සිටි අතර, ඔවුන්ට විධිමත් මූල්‍ය පද්ධතියක් සමඟ ගනුදෙනු කිරීමට පැවති අවස්ථා අතිශය සීමිත විය. කෙසේ වෙතත්, නුවරඑළිය හේවාහැට ‘හෝප් වත්ත’ (Hope Estate) කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ආරම්භ වී ඇති පරිවර්තනීය ප්‍රවේශය, මෙම සාම්ප්‍රදායික වහල්භාවයෙන් මිදී ආර්ථික නිදහස කරා යන විප්ලවීය ගමනක සලකුණු පෙන්නුම් කරයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ Visa ආයතනය අත්වැල් බැඳගෙන දියත් කරන මෙම නව නියමු ව්‍යාපෘතිය හුදෙක් ආධාර වැඩසටහනක් නොව, වතුකරයේ ආර්ථික පදනම ඩිජිටල්කරණය හරහා යළි සකස් කිරීමකි.

වැටුප් ලබන ශ්‍රමිකයාගේ සිට ස්වාධීන ව්‍යවසායකයා දක්වා

වතුකරයේ ශ්‍රමිකයා යනු සැමවිටම අනුන්ගේ වත්තක වැටුපට වැඩ කරන්නෙකු යන සමාජ සම්මුතිය බිඳ දැමීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මෙය හුදෙක් ආදායම් මාර්ගයක් වෙනස් කිරීමක් නොව, වතුකරයේ ආර්ථික දේහයේ මුල් බැසගත් සම්ප්‍රදායික ව්‍යුහය වෙනස් කරන ‘ආකල්පමය සහ ව්‍යුහාත්මක පරිවර්තනයකි’.

මෙහිදී ‘පොලිටනල් වගාව’ (polytunnel cultivation) සහ ‘ගෙවතු වගාව’ වැනි දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන (climate-smart) කෘෂිකාර්මික ක්‍රමවේද වෙත තරුණ ප්‍රජාව යොමු කෙරේ. මෙලෙස දේශගුණික අවදානම් කළමනාකරණය කරමින් නවීන තාක්ෂණය භාවිත කිරීම හරහා, වතුකරයේ කාන්තාවන් ස්වාධීන ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමට අවශ්‍ය පදනම සකස් වේ.

මුදල් නෝට්ටුවෙන් බැහැර වූ විනිවිද පෙනෙන ඩිජිටල් ගනුදෙනු

සාම්ප්‍රදායිකව මුදල් නෝට්ටු අතින් අත මාරුවන, අනාරක්ෂිත සහ විධිමත් වාර්තා තැබීමක් නොමැති ගනුදෙනු රටාවෙන් බැහැර වීම ආර්ථික ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වේ. ආරක්ෂිත ඩිජිටල් මූල්‍ය පද්ධතියක් හරහා ගනුදෙනු කිරීම මගින් වතුකරයේ ජනතාවට විධිමත් ආර්ථිකයේ කොටස්කරුවන් වීමට අවස්ථාව සැලසේ.

මේ පිළිබඳව Visa ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය සිය අදහස් මෙසේ දැක්වූවාය:

"Visa ආයතනය ලෙස අප විශ්වාස කරන්නේ මූල්‍ය ඇතුළත් කිරීම යනු ආර්ථික අවස්ථාවන්හි සැබෑ පදනම බවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ අප ඇති කරගත් හවුල්කාරිත්වය මගින් විධිමත් ආර්ථිකයට පූර්ණ ලෙස දායක වීමට අවස්ථාව නොලැබූ කාන්තාවන් සහ තරුණ පිරිස බලගැන්වීමට කටයුතු කරමු. මූල්‍ය සාක්ෂරතාවය සහ ඩිජිටල් ගෙවීම් මෙවලම් ඒකාබද්ධ කිරීම හරහා, අනාරක්ෂිත මුදල් මත පදනම් වූ ක්‍රමවේදයන්ගෙන් බැහැර වී ආරක්ෂිත සහ විනිවිද පෙනෙන මූල්‍ය සහභාගීත්වයක් කරා යාමටත්, තිරසාර ජීවනෝපායන් ගොඩනැගීමටත් අප සහාය වන්නෙමු."

මෙමගින් ඩිජිටල් ගෙවීම් මෙවලම් භාවිතය හුදෙක් තාක්ෂණික මෙවලමක් නොව, ජීවනෝපාය සුරක්ෂිත කරන සහ විශ්වාසය ගොඩනංවන පාලමක් බවට පත්වේ.

මූල්‍ය සාක්ෂරතාවය: නොසලකා හැරිය නොහැකි මූලිකාංගය

බැංකුවකට ගොස් ගිණුමක් විවෘත කිරීම පමණක් ග්‍රාමීය ආර්ථිකයක පරිවර්තනයකට ප්‍රමාණවත් නොවේ. බැංකු සේවා සහ ඩිජිටල් මෙවලම් ඵලදායී ලෙස සිය දියුණුව සඳහා භාවිත කරන්නේ කෙසේද යන ‘මූල්‍ය සාක්ෂරතාවය’ ලබා දීම මෙම ව්‍යාපෘතියේ හදවත බඳුය. මෙම වැඩසටහන යටතේ තෝරාගත් තරුණ කෘෂි නිෂ්පාදකයින් 50 දෙනාගෙන් අතිමහත් බහුතරය කාන්තාවන් වීම විශේෂත්වයකි.

ඔවුන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට පමණක් නොව, ඒවා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කරමින් තම ආදායම් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබා දෙයි. මෙය ඩිජිටල් විභේදනය (digital divide) අවම කරමින් ප්‍රජාව බලගන්වන ප්‍රබල මෙවලමකි.

වතුකරයේ කාන්තාවන් ආර්ථිකයේ හුදු නිරීක්ෂකයින් හෝ අතුරු කොටස්කරුවන් ලෙස නොව, එහි ප්‍රධාන කේන්ද්‍රය කරා රැගෙන ඒම මෙම හවුල්කාරිත්වයේ සුවිශේෂී ජයග්‍රහණයකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය මෙම මානුෂීය සහ ආර්ථික පරිවර්තනය මෙසේ විස්තර කළාය….

“ආර්ථික සවිබල ගැන්වීම ආරම්භ වන්නේ මූල්‍ය ඇතුළත් කිරීමෙන් වුවද, එය එතැනින් අවසන් වන්නේ නැත. Visa සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා අපි වතුකරයේ කාන්තාවන්ට සහ තරුණ පිරිසට ආර්ථිකයේ ආන්තිකයේ සිට අවස්ථාවන්හි කේන්ද්‍රය කරා ගමන් කිරීමට නව දොරටු විවර කර දෙන්නෙමු. මූල්‍ය සාක්ෂරතාවය ආදායම් උත්පාදන මාවත් සමඟ ඒකාබද්ධ කිරීමෙන් අපි ව්‍යවසායකත්වය දිරිමත් කරන අතරම ශක්තිමත් ජීවනෝපායන් සඳහා පදනම සකසන්නෙමු. ඕනෑම කාන්තාවකට, ඇය උපන් ස්ථානය නොසලකා, ආර්ථික වර්ධනයෙන් ප්‍රතිලාභ ලැබීමට අවශ්‍ය විශ්වාසය සහ මෙවලම් ලබා දෙන අනාගතයක් අපි නිර්මාණය කරන්නෙමු.”

ඇය පවසන පරිදි, මෙම ප්‍රවේශය හරහා වතුකරයේ කාන්තාව මෙරට ආර්ථිකයේ තීරක බලවේගයක් බවට පත්වීමේ මාවත විවර වී ඇත.

මාස හතක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අංගයක් වන්නේ කෘෂිකාර්මික වටිනාකම් දාමයන් ඩිජිටල්කරණය කිරීමයි. වටිනාකම් දාමයක් යනු නිෂ්පාදනය පසෙන් ආරම්භ වී පාරිභෝගිකයාගේ අතට පත්වන තෙක් වූ ගමනයි. මෙම ගමනේ සෑම සන්ධිස්ථානයකදීම සිදුවන ගෙවීම් ඩිජිටල්කරණය කිරීම හරහා ගනුදෙනුවල විනිවිදභාවය ඉහළ යන අතර, විධිමත් මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය තහවුරු වේ. ඩිජිටල් ලියාපදිංචිය හරහා ඔවුන්ව නවීන මූල්‍ය ලෝකය සමඟ බද්ධ කිරීම මෙහි තවත් පියවරකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...