බලය ගන්න කලින් කියපු තරම් FDI ආවෙ නෑ තමයි. අපේ හැටියට මේ ගාණටවත් ආපු එක ආශ්චර්යයක් – ඇමති හඳුන්

නව රජයක් බලයට පත්වූ සැණින් සෘජු විදෙස් ආයෝජන ගලාගෙන නොඑන බවත් මේ වසර දෙක තුළ මේ පමණින් හෝ සෘජු විදෙස් ආයෝජන ලංකාවට පැමිණීම ආශ්චර්යයක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලාගෙ පාලන කාලයේදී අපට සම්පූර්ණ දත්ත ලබාගන්න පුළුවන් පළවෙනි අවුරුද්ද 2025 අවුරුද්ද, ඒකෙදී ඩොලර් බිලියනයකට මදක් වැඩි සෘජු විදෙස් ආයෝජන (FDI) තමයි අත්පත් කරගන්න පුළුවන් වුණේ. හැබැයි ඒක කිසිසේත්ම විශාල ප්‍රමාණයක් නොවෙන්නෙ මීට කලිනුත් අපි ඇවරේජ් එකක් විදියට වසරකට බිලියන් 1ක් හෝ ඊට ටිකක් වැඩි ප්‍රමාණයක් FDI ආකර්ෂණය කරගෙන තියෙන නිසා. මේක දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව කිව්වොත් 1%ක් වගේ. මෙතන තියෙන ප්‍රශ්නය තමයි අපි මේ දත්ත විශ්ලේෂණය කරලා බැලුවාම මේකෙනුත් වැඩි කොටසක් දැනට තියෙන ව්‍යාපාර පුළුල් කරන්න තමයි ඇවිත් තියෙන්නෙ, අලුත් FDI විදියට නෙවෙයි. දැන් මේ ඩොලර් බිලියන 1න් ඩොලර් මිලියන 923ක්ම මේ ලංකාව ඇතුළෙ දැන් ඉන්න ආයෝජකයොම රීඉන්වෙස්ට්මන්ට් විදියට කරලා තියෙන්නෙ. එතකොට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය එක්ක ජනතාවත් ඔබතුමාලත් බලාපොරොත්තු වුණා ඒ මත විශාල ආයෝජන ප්‍රමාණයක් රටට ගලාගෙන එයි කියලා. හැබැයි 2025 දත්ත එක්ක බලද්දී එවැනි සැලකියයුතු වර්ධනයක් සෘජු විදෙස් ආයෝජනවල සිද්ධවෙලා නැහැ නේද ?

“ඔව්, ඇත්ත. මං කියන්නෙ ඩොලර් බිලියනයකට වඩා මදක් වැඩි ප්‍රමාණයක් ආවා කියන එකත් මගේ පැත්තෙන් මම හිතුවොත් ආශ්චර්යයක්. මොකද දන්නවාද, අපේ ආණ්ඩුවක් ආවොත් තියෙන ඒවා යයි කියලානෙ මතය හැදුවේ. විපක්ෂය කිව්වෙ මාලිමාවේ ආණ්ඩුවක් ආවට පස්සේ ආයෝජන යයි කියලානෙ, එයි කියලා නෙවෙයි. ඒ කියන්නෙ ව්‍යාපාර රජයට ගනීවි, බදු ගහාවි, තියෙන නීති රීති සෝවියට් දේශයේ වගේ වෙනස් කරාවි, උතුරු කොරියාව වගේ වේවි කියලානෙ කිව්වෙ. ඒක නිසා පළවෙනි අවුරුද්දේ 2025 අපිත් බලාපොරොත්තු වුණේ යයි කියලා. මොකද යයි කියන මතයනේ හදලා තිබුණෙ. එතකොට අපි වගේ ආණ්ඩුවක් අලුතින්ම ඇවිල්ලා – අපි පිළිගන්න එපැයි ඒ ආධුනිකත්වය, පළපුරුද්ද නැතිකම, ඒ දේවල් ඔක්කොමත් එක්ක – ටෙස්ට් කරන්න කවුරුත් එන්නෙ නෑනෙ ව්‍යාපාර. ඔබම කියන ආකාරයට ඉන්න අයම එක්ස්පෑන් කරන්න ආවා හරි කියන එකම ලොකු දෙයක්”

ප්‍රශ්නය – නමුත් ඔබතුමාලාම බලයට එන්න කලින් කිව්වානෙ ඔබතුමාලාගෙ රජයක් යටතේ ඩොලර් බිලියන ගණනින් ආයෝජන කරන්න ඒ වෙද්දීත් පක්ෂයට ආධාර කරන්නන් සහ පක්ෂය විශ්වාස කරන්නන් ඉන්නවා කියලා. ඒ විශ්වාසය විපක්ෂයේ වචනවලින් වැටෙනවා නම් ඔබතුමන්ලා මේ වගේ ජනවරමක් ලබාගන්නෙ නැහැනෙ ? ඒ විශ්වාසය මත මාස ගණනක් තුළ ඒ බිලියන ගණනින් ආයෝජන ගේන්න හැකියාවක් ලැබුණෙ නැහැ නේද කියන ප්‍රශ්නය මම දත්තත් එක්ක අහන්නෙ ?

“මගේ පැත්තෙන් මම කියන්නෙ ඔය ආපු එකත් ලොකු දෙයක් කියලා. මොකද හේතුව අලුතින් ආණ්ඩුවක් ආපු ගමන් එකපාර ආයෝජන එන්නෙ නෑ. මොකද ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති බලනවා, ජාත්‍යන්තර සබඳතා කොහොමද කියලා බලනවා, ඒගොල්ලො නීතිය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියලා බලනවා, බදු ප්‍රතිපත්ති කොහොමද කියලා බලනවා. ව්‍ය්පාරික තීන්දු ගද්දී ඒ ඔක්කොම බලනවා”

ප්‍රශ්නය – මේ වසරේ ගතවෙච්ච මාස 7 ගත්තට පස්සේත් අපිට තියෙන දත්ත අනුව අතිවිශාල වර්ධනයක් සෘජු විදෙස් ආයෝජනවල දකින්න ලැබෙන්නෙ නැහැ නේද BOI එක පැත්තෙන් බලද්දී ?

“ඔව්, නමුත් මම හිතන්නෙ පොසිටිව්. ඔය මූඩීස්, එස් ඇන්ඩ් පී වගේ ආයතනවල රේටිංස්වලටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව රේටිං කරලා තියෙන විදියත් එක්කත් ධනාත්මක තැනක තියෙන්නෙ. අනිත් පැත්ත නෙවෙයි. දැන් තමයි ලෝකෙ රටවල්වලට ගියාම හුඟ දෙනෙක් ලංකාවේ තියෙන පහසුකම් පැත්ත ගැන හිතනවා. අපේ ආයෝජනවලට දෙන පහසුකම්. වන් ස්ටොප් සෙන්ටර් එකක් තියෙනවා දැන්. සිංගල් වින්ඩෝ සිස්ටම් එක කොහොමද ක්‍රියාත්මක කරන්නෙ …”

ප්‍රශ්නය – මම එතනට එන්න හිටියෙ. ඇත්තටම අපට ආයෝජන ගෙන්වා ගන්න ප්‍රධාන ප්‍රශ්න විදියට දූෂණය තිබුණා, තවත් හේතු ගණනාවක් තිබුණා. ආයතන කීයකින් අවසර ගන්න වෙනවාද කියන එක. ඔබතුමන්ලාගෙ ආණ්ඩුව යටතේ අයවැය දෙකකින් ඔය වන් ස්ටොප් සෙන්ටර් එක ගැන කතා කළා, නමුත් මේ වෙනතෙක් එකම කවුළුවකින් අවසර ගන්න සිස්ටම් එක හැදිලා නැහැ. මේ වෙනතෙක්ම කතා කරනවා විතරයි. අනිත් පැත්තෙන් කම්කරු නීති ගත්තත් අලුත් පනත් කෙටුම්පතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා අපි දැක්කෙ නැහැ. ඒ අනුව ඔබතුමන්ලා ඒ පුළුල් ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න අවතීර්ණ වෙලා නැහැ අවුරුදු එකක් ඇතුළතදීත් ?

“එතනදී එකක් තමයි ඔබ කියන ආකාරයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ කිරීම් පිළිබඳව. රාජ්‍ය ව්‍යාපාර සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ කිරීමට අවශ්‍ය නීතිමය ව්‍යුහයන් ටික හදලා දැන් වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. අනිත් පැත්තෙන් ඔය වන් ස්ටොප් සෙන්ටර් කියන එක ගත්තොත් ප්‍රායෝගිකව ඇත්තටම හරි අමාරුයි සියලුම පද්ධතියට හදන්න එකපාර. අපි දැනට කතා කරගෙන යනවා තෝරාගත් භාණ්ඩ කිහිපයකට, උදාහරණයක් හැටියට ගත්තොත් ඇඟළුම් ක්ෂේත්‍රයට අපි දැන් හඳුන්වාදෙමින් යනවා. තේ වලට හඳුන්වාදෙමින් යනවා. මෙහෙම භාණ්ඩ කිහිපයකට කොහොමද මේක හදන්නෙ කියන එක. ආයතනගත මට්ටමින් දැනට යම් මොඩ්ල් එකක් ක්‍රියාවට නැගෙමින් තියෙනවා, ඉතා ඉක්මනින් අපිට ඒකට යන්න පුළුවන්වෙයි කියලා හිතනවා. කම්කරු නීති පැත්තෙන් ILO එකේ නීතිත් එක්ක දැනට යම් සංශෝධන ප්‍රමාණයක් තියෙනවා. අපේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා – දැන් වතුකරයේ කම්කරු වැටුප් වැඩිවෙලා තියෙනවා, රජයේ සේවක වැටුප් වැඩිවෙලා තියෙනවා, පෞද්ගලික අංශයේ අවම වැටුප් වැඩිවෙලා තියෙනවා, ඒවාත් එක්ක දැන් යම් ප්‍රමාණයක් 2022 – 2023 තිබ්බ ට්‍රෙන්ඩ් එකට පිටරට යන එක දැන් පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා. කොහෙ හරි රටකට පැනගන්නවා ලංකාවේ ඉන්නෙ නැතිව කියන එක යම් ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා. හැබැයි අදටත් අපේ කර්මාන්තවල ගත්තොත් කුසලතාවය සහිත කම්කරුවන්ට ලොකු වේකන්සියක් තියෙනවා. අපි හිතන්නවා මගේ අමාත්‍යාංශයේ හදන්න ජොබ් ෂොප් එකක්. ඒකට ෆීඩ් කරන්න”

ප්‍රශ්නය – මම නිශ්චිත ප්‍රශ්නය ඇහුවේ කම්කරු නීති පිළිබඳව. ආයෝජකයෙකුට ලේසියෙන් හොයාගන්නවත් බැහැ ලංකාවේ කම්කරු නීති, පනත් කීයක් තියෙනවාද කියන එකවත් ?

“මගේ ළඟ නිශ්චිත තොරතුරු නැහැ දැන් ඒ පිළිබඳව. අපි ඊළඟ සාකච්ඡාවකදී ඒ ගැන කතා කරමු”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...