ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය ඉදිරිපත් කළ බවත් එයට රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු සියලු දෙනා එයට කැප වූ බවත් වසර 17ක විප්ලවයක් ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කර ආර්ථිකය වෙනස් කළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ (17) කොළඹ ජාතික පුස්තකාලයේ දී “ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුකරණය සහ මැදමාවත” යන තේමාව යටතේ සමගි ජන බලවේගයට අනුබද්ධිත මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබු විද්වත් කථිකාවත අමතමිනි.
1977 එක්සත් ජාතික පක්ෂය බලයට එන විට රටේ දළ දේශීය නිෂ්පාදනය බිලියන 4ක් බවත් මේ 17 වසරක පාලනය අවසන් වන විට බිලියන 5000 ඉක්මවු බවත් එදා ඒක පුද්ගල ආදායමේ වර්ධනය සේම පාසල් යන පිරිස එදා මි. 2.5ක් වුවත් එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් වන විට මි. 4.1ක් බවත් අද මි.3.9ක් සිටින බවත් වසර කින් මි.1.6කට අධ්‍යාපන අවස්ථව දුන් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
නිවාස 10%කට කර්මාන්තශාලා 10%කට එදා විදුලි බලය තිබුණත් අද එය 95%ක් බවත් එදා 40%ක් නිවාසවලට ස්ථිර වහලයක් හා සිමෙන්ති බිත්ති තිබුණත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස සංකල්පය නිසා අද එය 97%ක් වී ඇති බවත් මෙය විප්ලවයක් බවත් ආර්ථික සංවර්ධනය තුළින් ජන ජීවිත ඉහළට ගෙනවිත් පරමාධිපත්‍යය තහවුරු කළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
රට දුප්පත්කමින් මිදුනේ 17 වසරක එක්සත් ජාතික පක්ෂ විප්ලවය නිසා බවත් මේ විප්ලවය ඉදිරියට ගෙන යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයට සමගි ජන බලවේගයට එක්වන ලෙස ආරාධනය කරන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව අවසන් කරමින් පැවසීය.



