ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු වන නමුත් පසුගිය කාලය පුරාම දේශපාලනයේදී උන්වහන්සේව එක් එක් පාර්ශ්ව විසින් පාවිච්චි කරන ලද බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“ඥානසාර හාමුදුරුවෝ මගෙත් යාළුවෙක්. නමුත් ඉතින් රටේ නීතියක් තියෙනවානෙ. ඔය නීති අපි හදපුවාත් නෙවෙයි. ඥානසාර හාමුදුරුවෝ ඔය තත්වයට පත්වුණේ අපි නිසාත් නෙවෙයි. උන් වහනසේව ඔය විදියටම පහුගිය කාලෙත් ඇතුළට දැම්මා. ඔය පළවෙනි වතාව නෙවෙයි. ඊළඟට ගත්තාම අපේ ස්වාමීන් වහන්සේලා 63 නමක්ද කොහෙද බන්ධනාගාරගතව ඉන්නවා කියලාත් කියනවා. එතකොට ඒ අය ඉන්න වෙලාවේ මේ ප්රශ්නය ආවෙත් නැහැ. අපිට පේනවා ඥානසාර හාමුදුරුවන්ව ඉතිහාසයේ හැමදාම – ඔය අවංක මනුස්සයෙක්. මම දන්නවා අපේ හාමුදුරුවොන්ව. හරි ? – හැමදාම පාවිච්චි කළා උන්වහන්සේව. ඒක උන්වහන්සේත් දන්නවා. අදත් කරන්නෙ දේශපාලනයට පාවිච්චි කරන එක. මේක බුද්ධාගම වෙනුවෙන් හරි හාමුදුරුවරු වෙනුවෙන් හරි නම් මේක 63 නමක් ඉන්නවා, කතා කරන්න පුළුවන්නෙ. කතා කළේ නැහැනෙ. මොකද, උන්වහන්සේලාව දේශපාලනයට පාවිච්චි කරගන්න බැහැ. ඒ නිසා ඔළුව උස්සාගන්න බැරිව තියෙන ජාතිවාදයට, ආගම්වාදයට, සමහර විපක්ෂ කණ්ඩායම්වලට ඉතින් ඥානසාර හාමුදුරුවන්ව මාතෘකාවක් කරගෙන උන්වහන්සේව පාවිච්චි කරන එක තමයි වෙන්නෙ.
ජනාධිපතිතුමා මේකට අපේ ත්රෛ නිකායික මහා සංඝරත්නය වඩම්මවලා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස කිව්වා. ආණ්ඩුවේ අදහස තමයි දැනට තියෙන නීතිය මේක, මේක තනි තනි අයට කියන්න මගේ නීතිය බවට පත්කරගන්න මම කැමති නෑ, අපි එහෙනම් සාකච්ඡා කරලා අලුත් නීතිය හදාගමු, ඒකට අනුව වැඩකරමු. දැන් ඒ වැඩසටහන ඉස්සරහට යනවා.
මම පෞද්ගලිකව දෙයක් කියන්න කැමතියි. මම කැමති නෑ සිවුරට දඬුවම් දෙනවාට. සුද්දාගෙ කාලෙත් සිවුරට දඬුවම් දුන්නා, අපේ හාමුදුරුවරුන්ව වෙඩිතියලා ඝාතනය කළා සිවුරත් එක්ක. මම ඒකට කැමති නෑ. පුද්ගලයෙක් වරදක් කළාට සිවුර වැරදිකාරයෙක් නෙවෙයි. ඒ නිසා මගේ පෞද්ගලික අදහස මම යෝජනා කරන්නෙ අදාළ කමිටුවට මේ නීති වෙනස් කරද්දී මගේ අදහස නම් සිවුරට දඬුවම් දෙන්න බෑ, පුද්ගලයාට දඬුවම් දුන්නාට කමක් නෑ නීතියට අනුව”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


