රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :
කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණු මුදල් විශුද්ධිකරණ නඩුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා සේවා කාලය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය විය.
නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළ ඔහුට මූලික වැටුප් ලෙස රුපියල් මිලියන පහකට අධික මුදලක් ගෙවා ඇති බව නාවික නිලධාරියෙකු විසින් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්රකාශ කරන ලදී.
කෙසේ වෙතත්, මෙම මුදලට කිසිදු විශේෂ දීමනාවක් ඇතුළත් නොවූ බවද එම සාක්ෂිකරුවා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ වන විට උදේශ් රණතුංග මහාධිකරණ විනිසුරුතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම නඩුවේ මූලික කටයුතු යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වෙමින් පවතී.
ඉදිරි සාක්ෂි විභාගය සඳහා අදාළ නඩුව මේ මස තිස්වන දින දක්වා කල් තැබීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇත.


