සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ත්රස්තවාදී ක්රියා සම්බන්ධයෙන් වරදකරුවන් වූ සෞදි අරාබි ජාතිකයන් පස්දෙනෙකුට මරණ දඬුවම ක්රියාත්මක කළ බව එරට අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිවේදනය කර තිබේ.
විදේශීය ත්රස්ත සංවිධානයකට සම්බන්ධ වීම, ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ ආරක්ෂක මූලස්ථානවලට ප්රහාර එල්ල කිරීම ඇතුළු බරපතළ චෝදනා සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් වරදකරුවන් වී ඇති බව අමාත්යාංශය සඳහන් කර ඇත.
එමෙන්ම ගිනිඅවි සහ බෝම්බ භාවිත කර ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා ආරක්ෂක වාහනවලට ප්රහාර එල්ල කිරීම, ගිනිඅවි සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම මෙන්ම සෞදි අරාබිය තුළ ත්රස්තවාදී මෙහෙයුම් සඳහා මූල්ය ආධාර සැපයීම සහ ඒවා ක්රියාත්මක කිරීමට සහාය වීම ද ඔවුන්ට එල්ල වූ චෝදනා අතර වේ. විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නඩු විභාගයෙන් පසු ඔවුන් වරදකරුවන් බවට තීන්දු කර ඇති අතර, අභියාචනා ක්රියාවලියෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය ද අදාළ මරණ දඬුවම් තහවුරු කර ඇත.
ඒ අනුව, අදාළ මරණ දඬුවම් සෞදි අරාබියේ නැගෙනහිර පළාතේදී ක්රියාත්මක කර ඇති බව වාර්තා වන අතර ත්රස්තවාදයට සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා සෞදි අරාබිය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්රියා සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන බව එරට බලධාරීන් අවධාරණය කරයි.

