සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම ඉහළ යෑම, නිවාස කුලී අහස උසට ඉහළ යෑම, අඩු වැටුප් සහ අධ්යාපන වියදම් සම්බන්ධයෙන් පවතින ගැටලු මුල් කරගනිමින් යුරෝපා රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා පැවැත්වී තිබේ.
ප්රංශය, බෙල්ජියම, ඉතාලිය සහ පෘතුගාලය යන රටවල ඔක්තෝබර් 17 වැනිදා පැවති මෙම විරෝධතා හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල ආණ්ඩු වෙත ජනතා ඉල්ලීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ පීඩනයක් එල්ල වී ඇත.
මෙම විරෝධතා සියල්ල එකම සංවිධානයක් යටතේ පැවැත්වූ ඒවා නොවන අතර, එක් එක් රටෙහි පවතින ආර්ථික හා සමාජීය ගැටලු හමුවේ ජනතාව වීදි බැස තිබේ.
ප්රංශයේ විරෝධතාවලට ලක්ෂ සංඛ්යාත ජනතාවක්
මෙම විරෝධතා අතරින් වඩාත් විශාල ජනතා සහභාගිත්වයක් වාර්තා වී ඇත්තේ ප්රංශයෙනි. එරට අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ සංඛ්යාලේඛන අනුව, විරෝධතාවලට 550,000කට අධික පිරිසක් සහභාගි වී තිබේ.
ආරම්භයේදී අධ්යාපන ක්ෂේත්රයේ ගැටලු සහ පාසල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් මතු වූ විරෝධතා, පසුව ඉහළ යන ජීවන වියදම, සමාජ අසමානතාව සහ රාජ්ය සේවාවල පිරිහීම පිළිබඳ ජනතා අතෘප්තිය දක්වා පුළුල් වී ඇති බව වාර්තා වේ.
ප්රංශයේ නගර කිහිපයකදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති අතර, ඇතැම් ස්ථානවල කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඇතැම් ප්රදේශවල දේපළ හානි සහ ගිනි තැබීම් ද වාර්තා වී ඇත.
බෙල්ජියමේ අධ්යාපන වියදම්වලට එරෙහිව විරෝධතා
බෙල්ජියමේ බ්රසල්ස් අගනුවර සහ ලීජ් නගරයේ ද විරෝධතා පැවැත්වී තිබේ. බ්රසල්ස් නුවරදී ප්රධාන වශයෙන් තරුණයන් සහ සිසුන් සිය ගණනක් සහභාගි වූ විරෝධතාවලදී උසස් අධ්යාපන වියදම් ඉහළ යෑම සහ අධ්යාපනයට ප්රවේශ වීමේ අවස්ථා සීමා විය හැකි ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.
විරෝධතා අතරතුර ඇතැම් පිරිස් සහ පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර භාවිත කර තිබේ.
ඉතාලියේ මිලාන් සහ බොලොඤ්ඤා නගරවල ගැටුම්
ඉතාලියේ මිලාන් සහ බොලොඤ්ඤා නගරවල ද ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව විරෝධතා පැවැත්වී තිබේ.
විශේෂයෙන්ම මිලාන් නගරයේ පැවති විරෝධතාවක් අතරතුර ඇතැම් විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටුම්වලට මැදි වී ඇති අතර, ගල් ප්රහාර, දේපළ හානි සහ වෙළෙඳසල් කොල්ලකෑම් වැනි සිදුවීම් ද වාර්තා වී ඇත. සිදුවීම් හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් සහ තුවාල ලැබීම් ද සිදුව තිබේ.
ජීවන වියදමට අමතරව යුද ගැටුම් සම්බන්ධයෙන් පවතින විරෝධය ද ඇතැම් රැලිවලට හේතු වී ඇති බව වාර්තා වේ.
පෘතුගාලයේ නිවාස අර්බුදයට එරෙහිව ජනතාව වීදි බසී
පෘතුගාලයේ ලිස්බන් අගනුවර පැවති විරෝධතාවට ද දසදහස් ගණනක ජනතාවක් සහභාගි වී තිබේ. වැටුප් ඉහළ නැංවීම, විශ්රාම වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල සහ ජීවන වියදම පාලනය කිරීම මෙන්ම දැරිය හැකි මිලකට නිවාස ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම මෙහි ප්රධාන ඉල්ලීම් අතරට අයත් වේ.
පෘතුගාලයේ නිවාස මිල ඉහළ යෑම සහ නව කුලී ගිවිසුම් සඳහා අයකරන කුලී මුදල් විශාල වශයෙන් වැඩිවීම හේතුවෙන් සාමාන්ය ආදායම් ලබන ජනතාවට නගරවල නිවාස සොයාගැනීම දැඩි අභියෝගයක් වී තිබේ.
රටේ ප්රධාන වෘත්තීය සමිති සම්මේලනයක් වන CGTP විසින් කැඳවන ලද මෙම විරෝධතාවලදී, ජනතාවගේ ආදායමට සාපේක්ෂව ජීවන වියදම ඉහළ යෑම සහ රාජ්ය සේවාවල පවතින ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.
යුරෝපා රටවල් කිහිපයකින් එකවර මතුව ඇති මෙම විරෝධතා හුදෙක් මිල ඉහළ යෑමට එරෙහි ජනතා ප්රතිචාරයක් පමණක් නොවේ. ආදායම සහ වියදම අතර පරතරය පුළුල් වීම, දැරිය හැකි නිවාස හිඟය, අධ්යාපන අවස්ථා සම්බන්ධ ගැටලු සහ රාජ්ය සේවාවල ගුණාත්මකභාවය පිළිබඳ අතෘප්තිය ද ඒවා පිටුපස පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

